ලංකා ඛනිජ තෙල් නීති­ගත සංස්ථාවේ සභා­පති ඩී.ජේ.ඒ.එස්. ද එස් රාජකරුණා විසින් තමන්ට හිමි නිල රථය වූ BMW රථය භාවිතයට ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔහු විසින් අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් යෝජනා කර ඇත්තේ එම මෝටර් රථය අලෙවි කර, එයින් වායු­ස­ම­නය කළ බස් රථ දෙකක් මිලට ගැනීමටයි.එම බස් රථ සේවක ප්‍රවා­හ­නය වෙනු­වෙන් ලබා දීමට ඔහු යෝජනා කර තිබෙනවා.මෙම කටයුත්තට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රි­කාව පසු­ගිය සිකු­රාදා ඉදි­රි­පත් කර තිබෙනවා.

BMW 7 SERIES කාණ්ඩයට අයත් වන මෙම මෝටර් රථය ඉන්ධන භාවි­තය අතින් අවම කාර්ය­ක්ෂ­ම­තා­වක් ඇති වඩා පහසුකම් සහිත මෝටර් රථයක් බවයි වාර්තා වන්නේ. අශ්ව­බල 3,500ක් පමණ වන BMW 7 SERIESට අයත් මේ මෝටර් රථය 2018 වසරේ මිලට ගෙන ඇත්තේ රුපි­යල් මිලි­යන 29.5කට යි.එය ධාවනය කළ හැක්කේ පෙට්‍රල් ලීට­ර­ය­කින් කිලෝ­මී­ටර් 4ක් පමණි. මේ වන විට මෝටර් රථය අවස්ථා කිහි­ප­ය­කම අලු­ත්වැ­ඩියා කිරීම වෙනු­වෙන් රුපි­යල් 6,770,349ක් වැය කර තිබෙනවා. වාහ­නයේ මාසික සේවා වෙනු­වෙන්ද ­වි­ශාල මුද­ලක් වැය කරන්න සිදුව තිබෙන බවයි කියන්නේ. එහි වාර්ෂික රක්ෂ­ණා­ව­රණ වෙනු­වෙන් රුපි­යල් ලක්ෂ 10කට ආසන්න මුද­ලක් සංස්ථාව විසින් වැය කළ යුතු බව පැවසෙනවා.

මෙම මෝටර් රථයේ වර්ත­මාන වටි­නා­කම රුපි­යල් මිලි­යන 52ක් හෙවත් ලක්ෂ 520ක්.මේ රථය ධාව­නය කළත් නොක­ළත් තමන්ට පාඩු සිදුවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරනවා. වාහ­නය භාවිතා නොකළ විට සිදු වන්නේ එහි රික්තක අඩු වී (වැකුම් බැස) එයි සංවේ­දක (සෙන්සර්) අක්‍රිය වීම හේතුවෙන් ඒවා නඩත්තුවට විශාල විය­ද­මක් දර­න්නට සිදු වන බවයි ඔවුන් කියන්නේ. භාවිතා කළ විට අධික ඉන්ධන පරි­භෝ­ජ­න­යක් සිදු වේ.

මේ කරුණු සැල­කි­ල්ලට ගනිමින් සභා­පති ඩී.ජේ.ඒ.එස්. ද එස් රාජකරුණා තීර­ණය කර ඇත්තේ එම රථය අලෙවි කර, එයින් වායු­ස­ම­නය කළ එකක් රුපියල් මිලියන 20ක් වන බස් රථ දෙකක් මිලට ගැනීමටයි. එම බස් රථ සේවක ප්‍රවා­හ­නය වෙනු­වෙන් ලබා දෙන බවයි කියන්නේ.

මේ වන විට සංස්ථාවේ සේවක ප්‍රවා­හ­න­යට යොදා ඇති ටාටා බස් රථ වසර 10කට වඩා පැරැණි වන බව සඳහන් වෙනවා. දැනට භාවිත කරනු ලබන එම දොර දෙකේ බස් රථ සඳහා රියැ­දු­රුට අම­ත­රව තවත් සහා­ය­ක­යකු ගමන් කළ යුතුයි. එහෙත් යෝජනා කරන වායු සමනය කළ බස් රථ සඳහා අවශ්‍ය වන්නේ රියදුරෙකු පමණක් බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here