අමෙරිකාවේ වොෂින්ටන් ඩීසී හී දී ඊයේ (30) අනතුරට පත්වූ ගුවන් යානයේ කළු පෙට්ටිය නැතහොත් පියාසැරි දත්ත පටිගත මෘදුකාංගය සොයා ගෙන තිබේ.
හෙළිකොප්ටර් යානයක් හා මගී ප්‍රවාහන ගුවන් යානයක් ඊයේ (30) වොෂින්ටන් අගනුවරදී උඩු ගුවනේදී ගැටීමෙන් සිදු වූ අනතුරින් එම යානා දෙකේම ගමන් කළ මගීන් හා කාර්ය මණ්ඩලය සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව අමෙරිකා බලධාරීන් සඳහන් කරයි.
ගුවන් යානයේ 64 දෙනෙකු ගමන් කර ඇති අතර හෙළිකොප්ටර් යානයේ තුන් දෙනෙකු ගමන් කර ඇති බව වාර්තා විය.
රේගන්, වොෂින්ටන් ජාතික ගුවන්තොටුපොළේ ගුවන් යානා පාලක මැදිරිය තුළ සේවකයින් දෙදෙනෙකු සේවය කළ යුතු වුවද අනතුර සිදුවන අවස්ථාවේ එහි රැදී සිට ඇත්තේ එක් අයෙකු පමණක් බව මේ වන විට අනාවරණය වී ඇත.
ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක අතර එහි පළමු වාර්තාව දින 30 ක් ඇතුළත ලබා දෙන බවයි ඇමෙරිකාවේ ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය නිවේදනය කර තිබේ.
මේ අතර අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ශෝකය ප්‍රකාශ කරමින් සදහන් කර ඇත්තේ “අපගේ හදවත් බිඳී ගොස් ඇති” බවයි. මියගිය පවුල්වල සාමාජිකයින් හමුවීමට තමන් බලාපොරොත්තු වන බවත් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
200කට අධික පොලිස් කිමිදුම්කරුවන් සහ බෝට්ටු මගින් සිදුකළ මෙහෙයුම්වලදි මියගිය පිරිස 30 දෙනෙකුගේ පමණ සිරුරු සොයා ගැනීමට හැකිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
යානයේ සුන්බුන් තවමත් පොටෝමැක් ගංගාවේ පවතින අතර පවතින අධික සීතල නිසා කිමිදුම්කරුවන්ට තවදුරටත් මෙහෙයුම් සිදුකිරීම අසීරුවී ඇති බවයි වාර්තා වේ.