ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී මහ නගර සභා කිහිපයක් සඳහා “අලියා” ලකුණ යටතේ තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.

ඊයේ (14) රැස්වූ කෘත්‍යාධිකාරී රැස්වීමේදී ඔවුන් මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එහි නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මෙහිදී නව පත්වීම් කිහිපයක් සිදුකර ඇති අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්ද කරුණු සාකච්ඡා වී ඇති බවට වාර්තා වනවා.

ඒ අනුව එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී මහනගර සභා 04ක් සඳහා එක්සත් ජාතික පක්ෂය යටතේ “අලියා” ලකුණ යටතේ තරග කිරීමට යෝජනා වී තිබෙනවා.

එම යෝජනාවට බහුතරයකගේ එකඟතාව හිමිව ඇති බව වාර්තා වනවා.

ඒ අනුව “අලියා” ලකුණින් කොළඹ, මහනුවර, ගාල්ල, සහ නුවරඑළිය යන මහනගර සභා සඳහා තරග කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයට වැඩි වාසි සහගත මහනගර සභා 04ක් වන මෙම මහනගර සභාවල බලය තමන්ට හිමිකර ගත හැකි බව කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් එහිදී පවසා තිබෙන බව පැවසෙනවා.

කෙසේ වෙතත් සෙසු පළාත් පාලන ආයතන සඳහා තරග කිරීම අනෙකුත් දේශපාලන පක්ෂ සමග සන්ධානගතව තරග කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුව තිබුණා.

ඒ අනුව වෙනම ලකුණකින් තරග කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එළැඹෙන 20 වැනිදාට ප්‍රථම ඊට අදාළ අවසන් තීරණයක් ගැනීමට කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් තීරණය කර තිබෙන බවයි පැවෙසන්නේ.

මේ අතර මේ වනවිටත් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡා ආරම්භ වී ඇති අතර සාකච්ඡා වට කිහිපයක්ද පවත්වා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here