රෝගී දත්ත පරිගණක ගත කිරීමේ විශේෂ ව්‍යාපෘතියට එක් කළ සියවන රෝහල බවට, බදුරලිය ග්‍රාමීය රෝහල ඊයේ (16) පත්වුණා.

එම සුවිශේෂී අවස්ථාව සඳහා එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, මෙරට පුරවැසියාට රජයේ රෝහලකින් අවම කාලයක දී ගුණාත්මක, කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් සැපයීම මෙන්ම රෝගී තත්ත්ව පිළිබඳව පසුවිපරම විධිමත්ව සිදු කිරීම උදෙසා රෝගී දත්ත පරිගණක ගත කිරීමේ ව්‍යපෘතිය දිවයින පුරා පිහිටි සියලුම රෝහල්වල ක්‍රියාත්මක කරන බවයි.

මෙම ව්‍යාපෘතිය යටතේ රෝහලක් වෙත පැමිණෙන සෑම රෝගියෙකුගේම දත්ත රෝහලේ බාහිර රෝගී අංශයේ දී පරිගණක පද්ධතියට ඇතුළත් කෙරෙන අතර අනතුරුව වෛද්‍යවරයා සිදු කරන රෝග විනිශ්චය මගින් එළ‍‍ඹෙන තීරණය පරිදි පරීක්ෂණ සහ ඖෂධ නිකුත් කිරීම ඇතුළු සියලු රෝගී දත්තයන් ද වෛද්‍යවරයා විසින්ම මෙම පද්ධතියට ඇතුළත් කරනු ලැබේ.

ඖෂධ නිකුත් කිරීම ද එම දත්ත පදනම් කර ගනිමින් ඖෂධවේදීන් විසින් සිදු කරනු ලබයි.

නැවත දිනයක දී යළි රෝහල වෙත රෝගියා පැමිණීමේ දී ඔහුගේ ජාතික හැදුනුම්පත් අංකය හෝ මුල් අවස්ථාවේ නිකුත් කරන අනන්‍යතා කාඩ්පත ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වන අතර එහි දී රෝගියාගේ රෝග ඉතිහාසය පිළිබඳ සියලු දත්ත මෙම පද්ධතිය හරහා ම ලබා ගැනීම සිදු වනු ඇත.

අදාළ රෝගියා මෙම පද්ධතිය ක්‍රියාත්මක වන දිවයිනේ කුමන ප්‍රදේශයක පිහිටි රෝහලකින් සෞඛ්‍ය සේවාවක් ලබා ගැනීමට යාමේ දී රෝගීයාගේ හැදුනුම්පත් අංකය හෝ අනන්‍යතා අංකයක් (Barcode) ඇතුළත් කිරීමෙන් එම රෝගියාගේ ඉදිරි ප්‍රතිකාර සිදුකිරීම සදහා රෝගී දත්ත ඉතිහාසය ලබා ගැනීමේ පහසුකම ද මෙමගින් ඉදිරියේ දී සැලසෙනු ඇති.

මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන රෝහලකට රෝගියෙක් පැමිණිවිට එක්වරක් පමණක් ලියාපදිංචිය සිදුකිරීම ප්‍රමාණවත් වීම ද මෙම පද්ධතියේ විශේෂය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here