බ්‍රසීලයේ බෙලෙම් (Belém) නගරයේ පැවැත්වීමට නියමිත COP30 සමුළුව සඳහා, ආරක්ෂිත ඇමසන් වනාන්තරයේ අක්කර දස දහස් ගණනක් හරහා මංතීරු හතරක අධිවේගී මාර්ගයක් ඉදිවෙමින් පවතින බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
නොවැම්බර් මාසයේ පැවැත්වෙන සමුළුවේදී ලෝක නායකයින් ඇතුළු 50,000 කට අධික පිරිසක් සහභාගී වන නගරයට, ගමනාගමනය පහසු කිරීම එහි අරමුණ වන බව සඳහන්.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පරිසරවේදීන් අවධාරණය කරන්නේ, දේශගුණික සමුළුව සහ ආරක්ෂිත ඇමසන් වන විනාශය සම්පූර්ණයෙන්ම එකිනෙකට පටහැනි වන බවත් එය ‘දේශගුණික සමුළුවක අරමුණටම’ පහර එල්ල කරනු ඇති බවයි.
එමෙන්ම පරිසර පද්ධතිය මෙලෙස කැබලි කිරීම වනජීවීන්ගේ චලනයට ද දැඩි ලෙස බාධා කරනු ඇති බව පරිසරවේදීන් පෙන්වා දෙනවා.