ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානත්මක අපරාධ කල්ලි නායකයෙකු යැයි කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට එරෙහිව නීතිපතිරයා විසින් පවරා ඇති නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය ජූලි මස 15 දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා.

ඒ, එම නඩුව අද (20) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා අද දින විශේෂ රාජකාරී කටයුත්තක් හේතුවෙන් අධිකරණයට නොපැමිණීම හේතුවෙන් නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස රජයේ අධි නීතිඥ කේෂානි විජේසිංහ කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරයා එලෙස නඩු විභාගය කල් තැබීමට නියෝග කළා.

ඒ අනුව නඩුවේ වැඩිදුර විභාගය ජුලි මස 15 වනදා දක්වා කල් තැබීමටයි විනිසුරුවරයා නියම කළේ.

එමෙන්ම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීමට අද දින අධිකරණය හමුවේ පෙනී සිටි, ඉන්ද්‍රානි ඩයස් නමැත්තියට ද මීළඟ ඉදිරි නඩු දින අධිකරණයේ පෙනී සිටින ලෙසත් විනිසුරුවරයා නියෝග කළා.

2015.06.10 වැනි දින, මේ වන විට මියගොස් සිටින හර්ෂ යසස් නැමැත්තා එක්ව මුල්ලේරියාව ප්‍රදේශයේ පිහිටි නිවසකට කඩාවැදී රුපියල් විසිදහසක මුදලක් කොල්ලකෑම සහ එහි තිබූ කාර් රථය පැහැරගෙන යාම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.

විශේෂම කාරණය නම් දැඩි ආරක්ෂක විධිවිධාන මැද විත්තිකාර හරක් කටා අද දින අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ත්‍රස්ත විමර්ශන කොට්ඨාස නිලධාරීන් ඔහු මාධ්‍යවලට නිරාවරණය නොවන පරිදි ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here