“ෂේඩි ඔෆ් ප්‍රොකෙයා” නමැති ආයතනයක් පවත්වාගෙන යමින් මාර්ගගත ක්‍රමය ඔස්සේ රැකියා
ලබාදෙන බව පවසා පුද්ගලයන් විශාල පිරිසකගෙන් රුපියල් කෝටි 14 ට අධික මුදලක් ලබාගෙන
වංචා කළ බව කියන සැකකාර මහාචාර්යවරයෙක් ජුනි මස 2 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත
කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (20) නියෝග කළා.

එම ආයතනයේ අධ්‍යක්ෂකවරයකු වන මහාචාර්ය මංජුල රණසිංහ නමැත්තෙකු එසේ රක්ෂිත
බන්ධනාගාර ගත කිරීමට මෙලෙස නියම කෙරුනා.

මෙම සිද්ධියට අදාළව එම ආයතනයේ විධායක අධ්‍යක්ෂකවරයකු වන අමිල විරාජ් නමැත්තකු මීට
පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත
කර ඇති බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට
දැන්වා සිටියා.

මෙම වංචාව සම්බන්ධයෙන් එම ආයතනයේ තවත් විධායක අධ්‍යක්ෂකවරුන් දෙදෙනකුගේ විදෙස්
ගමන් අධිකරණය මගින් තහනම් කර ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවා.

මෙම සැකකාර පුද්ගලයන් මාර්ග ගත ක්‍රමය ඔස්සේ රැකියා ලබාදෙන බව පවසා එක්
අයදුම්කරුවකුගෙන් රුපියල් 21500 බැගින් ලබාගෙන රුපියල් කෝටි 14 ට අධික මුදලක් වංචා කර
ඇති බවද විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූවා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බැවින් සැකකාර මහාචාර්යවරයා රක්ෂිත
බන්ධනාගාර ගත කරන ලෙසට විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලූ
මහේස්ත්‍රාත්වරිය සැකකරු එසේ රක්ෂිත බන්ධනාගාර ගත කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here