රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවට නව විගණකාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා ඊයේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමට ඉදිරිපත් වූ නාම යෝජනා අතරේ මේ වන විට එම තනතුර සඳහා සියලු සුදුසුකම් සපුරා අති වැඩබලන විගණකාධිපතිවරයා ලෙස කටයුතු කරන ධර්මපාල ගම්මන්පිල මහතාගේ නම ඉදිරිපත් කර නොමැති බව වාර්තා වනවා.

මේ වන විට හිටපු විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න මහතා එම තනතුරෙන් විශ්‍රාම ගොස් සති හයකට ආසන්න කාලයක් ගතවන අතර මේ දක්වා පුරප්පාඩු වූ විගණකාධිපති ධූරය සඳහා නව පත් කිරීමක් සිදුකර ගැනීමට රජයට හැකි වී නැහැ.

දිගින් දිගටම කල් ගිය රජයේ විගණකාධිපති ධූරය සම්බන්ධයෙන් වන පුරප්පාඩුව පිරවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වුණා.

මෙම තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ නාම ඉදිරිපත් කළ යුතු වන අතර ඊයේ පැවති රැස්වීමට එලෙස ඉදිරිපත් වී ඇත්තේ එක් නමක් පමණක් බවයි විගණකාධිපති දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

හේවා තොන්ඩිලගේ පුශ්පික චන්දන නැමති පෞද්ගලික විගනන ආයතනයක් පවතවාගෙන යනු ලබන පුද්ගලයෙකුගේ නමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම වෙත ඉදිරිපත් කර ඇත්තේ මෙම ධුරය සඳහා සියලු සුදුදුසුකම් සපුරා ඇති නියෝජ්‍ය විගණකාධිපති ධර්මපාල ගම්ම්මන්පිල මහතාගේ නම නොසලකා හරිමින් බවයි දෙපාර්තමේන්තු වෘත්තීය සමිති චෝදනා කරන්නේ.

කෙසේ වෙතත් නව විගණකාධිපතිවරයා ලෙස ධර්මපාල ගම්මන්පිල මහතා පත් කරන ලෙස ඉල්ලා ජාතික විගණන කාර්යාල සියලු වෘත්තීය සමිති අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත ලිඛිත ඉල්ලීමක් ද ඉදිරිපත් කර තිබෙනවා.

මේ වන විට වැඩබලන විගණකාධිපතිවරයා ලෙස ද සේවය කරන ධර්මපාල ගම්මන්පිල මහතා විගණන කාර්යාලයේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ද වනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මත පදනම්ව මෙම තනතුරට සුදුසු අපේක්ෂකයෙකු පත් කිරීම ජනාධිපතිවරයාගේ වගකීම වන අතර විගණකාධිපති තනතුර සඳහා අයදුම්පත් පහක් ලැබී ඇති බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් මෙම අයදුම්පත් අතරින් ඊයේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීම සඳහා ඉදිරිපත් කර ඇත්තේ එක් නමක් පමණක් බවයි වාර්තා වන්නේ.

ඊයේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මේ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම නිසා අද දිනයේ නැවතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිතයි.

මේ අතර, විගණකාධිපති තනතුර සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා සිටියා.

ඒ, මේ වන තෙක් විගණකාධිපති තනතුර සඳහා පත් කිරීමක් සිදුකර නොමැති බවත්, ඊයේ (20) ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව කථානායකවරයා දැනුම් දුන්නද ඒ පිළිබඳ අවසන් තීරණයකට මෙතෙක් පැමිණ නොමැති බව දැනගන්නට ලැබී ඇති බව පෙන්වා දෙමින්.

එහිදී මන්ත්‍රීවරයා චෝදනා මුඛයෙන් සඳහන් කළේ විගණකාධිපති සේවයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා සිටියදී ඒ සඳහා බාහිරින් පුද්ගලයෙකු පත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි.

මෙහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,

“තාම විගණකාධිපතිවරයෙක් පත් කරලා නැහැ. ඊයේ කථානායකතුමාට මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළාම කිව්වා, ඊයේ පත් කරනවා කියලා. දැන් අපිට ආරංචි වෙලා තිබෙනවා, පෙරේදා එක්කෙනෙක් ඒකට ඇප්ලිකේෂන් එකක් දාලා තියෙනවා කියලා. රජයේ ජ්‍යෙෂ්ඨතම විගණකාධිපති සේවයේ පුද්ගලයා ඉන්දැද්දී, වෙන කෙනෙක් දේශපාලනිකව ගේන්න හදනවාද කියලා මේ ප්‍රශ්නේ අපිට අහන්න සිද්ධ වෙනවා ආණ්ඩුවෙන්.“

“මොකද විගණකාධිපතිවරයා කියන්නේ ස්වාධීන ආයතනයක්. ඒ ස්වාධීන ආයතනයේ අපි බලාපොරොත්තු වෙන දේවල්, ඉෂ්ට වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒක මම වැඩි වශයෙන්ම සඳහන් කරන්නේ මුදල් කාරක සභාවේ සභාපතිවරයා හැටියට.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here