මූල්‍ය සමාගම් පනත උල්ලංඝනය කරමින් මුදල් භාරගැනීම සහ එයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි සක්විති රණසිංහ විසින් පොරොන්දු වූ පරිදි ගණුදෙනුකරුවන්ගේ තැන්පතු මුදලින් සියයට 60ක් වූ කොටස මේ වනවිට ගෙවා නිමකර තිබෙනවා.
එම මුදල නව කෝටි අසූපන්ලක්ෂයට ආසන්න මුදලක් බවයි අද (22) අධිකරණය හමුවේ අනාවරණය වූයේ.
සක්විති රණසිංහ විසින් ඇප ලබා නිදහස් වීමෙන් අනතුරුව අමතර පන්ති පවත්වා උපයාගත් මුදලින් එකී නව කෝටි අසූපන්ලක්ෂයට ආසන්න මුදල ගෙවා අවසන්කර ඇති බවත් එම විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නා.
මුදල් ගෙවා අවසන් කිරීමෙන් අනතුරුව විත්තිකරුවන්ට දඬුවම් නියම කිරීම සඳහා අද දින විවෘත අධිකරණය හමුවේ නඩුව කැඳවනු ලැබුවා.
ඒ අනුව මූල්‍ය සමාගම් පනත උල්ලංඝනය කරමින් නුගේගොඩ ප්‍රදේශයේ සක්විති හවුස් නමැති සමාගමක් 2006 නොවැම්බර් මස 01 වනදා සිට 2008 වසරේ සැප්තැම්බර් 11 වනදා දක්වා පවත්වාගෙන ගොස් ගණුදෙනුකරුවන්ගෙන් දහසය කෝටි හතලිස් එක් ලක්ෂයකට ආසන්න මුදලක් භාරගැනීම හා ඒ සඳහා ආධාර අනුබලදීම යන චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගත් අබේරණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ හා ඔහුගේ බිරිඳ වන කුමාරි අනුරාදිනී නමැත්තියට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා බරපතළ වැඩ සහිත වසර 01 බැගින් සිරදඬුවම් නියම කර එම සිර දඬුවම් කාලය වසර 10කට අත්හිටුවීමට නියෝග කරනු ලැබුවා.
එයට අමතරව විත්තිකරුවන් දෙදෙනාට රුපියල් 25,000 බැගින් වූ දඩයක් ද නියම කළ විනිසුරුවරයා එම දඩය ගෙවීමෙන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇඟිලි සළකුණු ලබාගෙන ඔවුන් මුදාහරින ලෙසට නියෝග කරනු ලැබුවා.
එම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව පවරා තිබූ නඩුව කැඳවූ අවස්ථාවේදී විත්ති පාර්ශ්වය පැමිණිල්ල සහ තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විවෘත අධිකරණය හමුවේ ඇතිකරගත එකඟතාවය අනුව එකී මුදලින් සියයට 60ක් නව කෝටි අසූපන්ලක්ෂයට ආසන්න මුදලක් ගෙවීමට එකඟවී තිබුණා.
එම එකඟතාවය අනුව 2023 වසරේ 07 වන මස සිට රුපියල් ලක්ෂ 50 බැගින් වූ වාරික වශයෙන් නව කෝටි අසූපන්ලක්ෂයට ආසන්න මුදල විත්තිකරු ගෙවා අවසන් කිරීමෙන් අනතුරුව දඬුවම් නියම කිරීම සඳහා අද දින විවෘත අධිකරණය හමුවේ නඩුව කැඳවනු ලැබුවා.
එකී මුදල් ශ්‍රී ලංකා මහ බැංකුවට යැවීමෙන් අනතුරුව තැන්පත්කරුවන් වෙත නිසියාකාරව ගෙවීමට ක්‍රමවේදයක් සකස්කරනා බව පැමිණිල්ල සහ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට පෙන්වාදුන්නා.
එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සක්විති රණසිංහ නැමැත්තා වසර 09 ක කාලයකුත් දෙවන විත්තිකාරිය වසර දෙකක කාලයකුත් බන්ධනාගාරයේ සිට ඇප ලබාගැනීමෙන් අනතුරුව සක්විති රණසිංහ අමතර පන්ති පවත්වා උපයාගත් මුදලින් එකී නව කෝටි අසූපන්ලක්ෂයට ආසන්න මුදල ගෙවා අවසන්කර ඇති බවත් එම විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්ද්‍ර මහතා සමග පෙනීසිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා අධිකරණයට දැනුම්දුන්නා.
එසේම අදාළ විත්තිකරුවන් දෙදෙනාගේ දරුවන් ඉදිරිමාස කිහිපය තුළ විවාහ වන බැවින් ඔවුන්ට ලිහිල් දඬුවම් ලබාදෙන ලෙසද නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.