ඉහළ පොළී මුදලක් ලබාදෙන බවට සනාථ කරමින් මුදල් තැන්පතුකරුවන්ගෙන් විශාල මුදලක් වංචා කළ බවට නේෂන් ලංකා ෆිනෑන්ස් මුල්‍ය ආයතනයට සහ සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ආයතනවල සභාපති ඇතුළු අධ්‍යක්ෂකවරුන් 10 දෙනෙකුට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ගොනු කර තිබූ පැමිණිල්ල තවදුරටත් විමර්ශනය කෙරෙමින් තිබෙනවා.

ඒ සඳහා නේෂන් ලංකා ෆිනෑන්ස් මුල්‍ය ආයතන සභාපති වික්ටර් රාජමානර් රමනන් මහතා B 560/25 නඩුකරය සම්බන්ධව වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා මීගමුව පොලිසියට කැඳවන ලදී.

මේ වනවිට නේෂන් ලංකා ෆිනෑන්ස් මුල්‍ය ආයතනයට අනුබද්ධිත සිංහ කැපිටල් ආයතනය ඉතා විශාල මුදල් තැන්පතු ගණනක් වංචා කර ඇති අතර ගනුදෙනුකරුවන්ට පොරොන්දු වූ පරිදි පොළී මුදල් හා කල්පිරූ පසු තැන්පතු මුදල් නොගෙවා සංස්ථාවර තැන්පතුකරුවන් මගහැර සිටියි.

සභාපති වික්ටර් රාජමානර් රමනන්ගේ ප්‍රකාශය අනුව ඔහු මෙම සමාගමේ ප්‍රධාන කොටස් හිමියා බව සනාථ කර ඇත. තවද ඔහු වෙත විදේශ ගමන් තහනමක් ද පනවා ඇත.

තවදුරටත් විමර්ශන කිරීමේදි සනාථ වූයේ සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ආයතනය තැන්පතුකරුවන්ගේ මුදල් ලබාගෙන ඇත්තේ අංක.546/3, ගාලු පාර, කොළඹ 03 ලිපිනයේදී බවය.

එම ලිපිනයේ නවලෝක කොලේජේ උසස් අධ්‍යාපන ආයතනය වික්ටර් රමනන්ගේ උප සභාපතිත්වය යටතේ පවත්වාගෙන යන ආයතනයකි.

තවදුරටත් අනාවරණය වූයේ වික්ටර් රමනන් මහතා නවලෝක රෝහලේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ද සිටින බවයි. මේ සම්බන්ධව පොලිසියේ විමර්ශන මීගමුව අධිකරණයෙන් පවත්වාගෙන යයි.

නේෂන් ලංකා ෆිනෑන්ස් යනු මහ බැංකුව විසින් මුල්‍ය තැන්පතු ලබාගැනීම අත්හිටවූ ආයතනයකි. පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ නේෂන් ලංකා ෆිනෑන්ස් මුල්‍ය ආයතනය, සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් නමින් ආයතනයක් පිහිටුවා එමගින් තැන්පතුකරුවන්ගේ මුදල් ලබාගෙන ඇති බවයි.

මේ නිසා තැන්පත්කරුවන් රාශියක් අපහසුතාවයට පත්වී ඇති අතර ඔවුන්ගෙන් සමහර තැන්පත්කරුවන් ඔවුන්ගේ වෛද්‍ය වාර්තා පවා නඩුකරයට ඉදිරිපත් කර ඇත.

වික්ටර් රාජමානර් රමනන් යනු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිත පුද්ගලයෙකු ද වේ. මෙය ලංකාවේ සමස්ත මුල්‍ය පද්ධතිය කඩාවැටීමට මූලික කරුණක් වන අතර අපට සිහිවනුයේ ETI සහ සෙලින්කෝ ආයතනයන් ය. තවද මෙම ආයතනය කොළඹ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි ආයතනයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here