මම මේ කතා කරන්නේ ජ.වි.පෙ/ජා.ජ.බ නායකයින්ට නෙවෙයි. මම කතා කරන්නේ පසුගිය නොවැම්බර මාසයේ මේ ආණ්ඩුව බලයට පත් කළ ඡන්දදායක ඔබටයි.
අපි විවෘතව කතා කරමු. මේ ජ.වි.පෙ/ජා.ජ.බ දේශපාලන නායකත්වය මැතිවරණ වේදිකාවල රස කතා කියමින්, දූෂණ චෝදනා ඉදිරිපත් කරමින් ඔවුන්ම වරක් බලයට ගේන්න විශාල වෙහෙසක් දැරුව රාජපක්ෂලාට විරුද්ධව සමාජ වෛරයක් වපුරන්න සම්පූර්ණ මැතිවරණ කාලය ගත කෙරුවෙ, රටේ ප්‍රශ්න සඳහා ඔවුන්ට විසඳුම් නැති නිසා යැයි උප කල්පනය කළ පුරවැසියෙක් මම. ඒ නිසා මම ඔබෙන් අහනවා, ඔබ මේ මාලිමා ආණ්ඩුව පත් කරන්න ඡන්දය දුන්නෙ ඇයි කියලා.
ගෝල්ෆේස් අරගලයෙන් රාජපක්ෂ අයියා-මලෝ දෙන්නා ඉවත් කෙරුවට, ඊළඟට ජනාධිපති හැටියට රනිල් වික්‍රමසිංහව පත්කර ගත්තෙත් ඔහුට බාර දුන්නෙත් රාජපක්ෂලාගේ ආණ්ඩුවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට එකඟව අවුරුදු 02 ට වැඩි කාලයක් ජනාධිපති වික්‍රමසිංහ යටතේ ආර්ථිකය පාලනය කෙරුනේ පාර්ලිමේන්තුවේ රාජපක්ෂලාගේ බහුතරය ඇතිවයි.
ආර්ථිකය ගොඩ දාපු වැඩේ ඔහුට හැර වෙන කාටවත් කරන්න බැහැ කියලා කොළඹ මැදපංතිකයින් කියනවා. මොකක්ද රනිල් ගොඩදාපු ආර්ථිකය? එයා කෙරුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි යටතේ ණය ගෙවන්න කල් අරගෙන, නැවත ණය ගන්න පසුබිම හැදුව එක විතරයි.
ඒ නිසා ඔබගෙන් මම අහන්න කැමතියි, ඊට වැඩි දෙයක් ඔබ අනුර කුමාරගේ නායකත්වයේ සහ මාලිමාවේ දැක්කද කියලා. බොහෝ දෙනෙක් කියාවී, ඔබලා ඡන්දය දුන්නේ පිරිසිදු අවංක නායකත්වයක් සමග දූෂණයෙන් තොර පිරිසිදු ආණ්ඩු පාලනයක් වෙනුවෙන් කියලා. එහෙම ආණ්ඩුවක්ද මේ මාලිමා ආණ්ඩුව?
* හාල් හිඟයට කවුරුවත් ඉල්ලුවේ නැති කිලෝවට රුපියල් 10 ක් මේසයට ගහලා වැඩි කෙරුවේ කවුරු වෙනුවෙන්ද?
* සතොස මගින් සහල් ආනයනය කරන්න ටෙන්ඩර 04 ක්ම වරද්දා ගත්තේ කාගේ වාසියටද?
* ලුණු හිඟයට රජයෙන් ආනයනය කළ ලුණු තොග වලට සිදුවුනේ මොකක්ද?
* රේගුවටත් නොකියා රතු ලේඛනගත බහලුම් 323 ක් හදිසියේ නිදහස් කෙරුවේ කාගේ වුවමනාවටද?
* බීර නිෂ්පාදනයට සහල් ආනයනය කරන්න අවසර දෙනවා කියලා වෙළඳ හා වාණිජ ඇමති කියන්නේ, පාරිභෝගික කටයුතු අධිකාරිය බීර නිෂ්පාදනයට සහල් යොදා ගැනීම තහනම්කර තියෙද්දි කියලා දන්නෙ නැද්ද?
ඔය මාලිමා ආණ්ඩුවේ පළමු මාස 06 ක වැඩ.
මම තේරුම් ගත් ඡන්දදායක මානසිකත්වයට අනුව ලක්ෂ 68 ක් මාලිමාවට ඡන්දය දුන්නේ දූෂණයෙන් තොර පිරිසිදු ආණ්ඩු පාලනයක් වෙනුවෙන් යැයි කිව්වට, ඔවුන්ට අවශ්‍ය වුනේ රාජපක්ෂලාව සතියෙන් දෙකෙන් හිරේ විලංගුවේ දමන්නයි. ඒ නිසා, රාජපක්ෂලාට නඩු දාන්න සාක්ෂි තියෙනවා කියලා අනුර කුමාර සහ ජ.වි.පෙ/ජා.ජ.බ නායකයින් කියුවම, ඒවා ප්‍රශ්න නොකරම බාර ගත්තා.
රාජපක්ෂලා හිරේ විලංගුවේ දමන්න තියා මහින්ද රාජපක්ෂව නිල නිවසින් එළියට දාන්නවත් හැකියාවක් ජනාධිපති අනුර කුමාර සහ ඔහුගේ ආණ්ඩුවේ ලොක්කන්ට තිබුණේ නැහැ.
ඉතාම කෙටියෙන් කිව්වොත් මේ “එල් බෝඩ්” ආණ්ඩුවක් කියලා රනිල් වික්‍රමසිංහ කිව්වේ ඒ නිසයි. දූෂණයෙන් තොර පිරිසිදු ආණ්ඩු පාලන හදන්න මාලිමාවට ඡන්දය දීමේ ඔබලගේ තීන්දුවල ලොකු අවුලක් පරස්පරයක් තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි යටතේ ජනාධිපති වික්‍රමසිංහ ගැට ගසා තැබූ විවෘත වෙළඳපල ආර්ථිකය සඳහා කිසිදු විකල්පයක් ඉදිරිපත් නොකර, ජ.වි.පෙ/ජා.ජ.බ නායකයින් කොහොමද දූෂණයෙන් තොර පිරිසිදු ආණ්ඩු පාලනයක් හදන්නේ?
මීට කලින් කිහිප විට මම කියලා තියෙනවා, විවෘත වෙළඳපල ආර්ථික කියන්නේ “සංවර්ධන” ආකෘති නෙවෙයි කියලා. ඒවා මහ නගර කේන්ද්‍රීය වෙළඳපොලවල්. රටෙන් සියයට 60 ක් 70 ක් වන ග්‍රාමීය සමාජයට මේ වෙළඳපල ආර්ථිකයේ සක්‍රීය සම්බන්ධයක් නැහැ.
ඒ වගේම විවෘත වෙළඳපල ආර්ථික උපතින්ම දූෂිතයි. මේවා ධනේශ්වර ආර්ථික නෙවෙයි. මේවා ජාවාරම්කාර වෙළඳ ව්‍යාපාර. මේවයේ හැදෙන්නේ සීඝ්‍රයෙන් පොහොසත්වන, සාමාන්‍ය මිනිසුන් කියන “ඇඩ්‍රස් නැති” දූෂිත ජාවාරම්කාර ව්‍යාපාරිකයින්. ඒක ඉන්දියාවෙත් එහෙමයි. චීනයෙත් එහෙමයි. ජනාධිපති වික්‍රමසිංහ ගොඩ දැම්මා කියන්නේ බස්නාහිර පළාතට විශේෂවූ එවැනි දූෂිත ජාවාරම්කාර වෙළඳපලක්.
ආපසු හැරිලා බලන්න. 1978 සිට අද වනවිට අවුරුදු 47 ක්, මොනවද “සංවර්ධනය” වෙලා තියෙන්නේ? කොළඹින් පිටතට ප්‍රසාරණය වුනු වෙළඳපල සඳහා තවත් නගර දෙක තුනක් මේ අවුරුදු 47 ට හැදිලා තියෙනවා. මේ නගරවල අවිධිමත් රැකියා සොයා ගෙන ග්‍රාමීය සමාජයෙන් හා වැවිලිකරයෙන් රැකියා නැති තරුණ පිරිස් එනවා. ඒ සමග, කොළඹ ආශ්‍රිතව හැදුණු තොරොම්බල් පාරිභෝගික සමාජය හැරුණු විට, දියුණුවක් කියලා කතා කරන්න තියෙන්නෙ මොනවද?
මේ විවෘත වෙළඳපල ආර්ථිකයේ ඇති “වර්ධනය” මම කියන්නම්.
මේවට අදාල සංඛ්‍යා, දත්ත, තොරතුරු ඔබ එකතු කර ගන්න.
*මේ අවුරුද්දේ ජනවාරි ආරම්භයේ සිට ගෙවුනු සති 22 ක පමණ කාලය තුල වාර්තා වූ වෙඩි තැබීම් සහ ඉන් මිය ගිය පුද්ගල සංඛ්‍යාව.
*ඒ කාලය තුලම මත්ද්‍රව්‍ය අලෙවි කිරීම නිසා අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයින් සංඛ්‍යාව හා පොලීසිය අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වර්ග හා ප්‍රමාණ.
*2019 සිට වාර්ෂිකව වාර්තා වූ ස්ත්‍රී දූෂණ, බාල වයස්කාර දැරිවියන් දූෂණ, පාසල්වල හා පාසල් වලට පිටතින් වාර්තා වූ ළමා අපචාර, ළමා හිංසන හා ළමුන්ට සිදු කෙරුණු ලිංගික අපචාර. කොන්ත්‍රාත් මිනී මැරුම්. කප්පම් ගැනීම්.
මේවට අදාල ගණන් මිනුම් හදලා බලන්න.
ඊළගට කෘෂි ව්‍යාපෘති කියලා කොයි තරම් ප්‍රමාණයක් අනවසර කැලෑ එළිකිරීම් සිදු කෙරිලා තියෙනවද කියලා හොයලා බලන්න. සංචාරක ව්‍යාපාරය සඳහා කියලා මීගමුවෙන් පටන් ගත්තම කිරින්ද දක්වා වෙරළ දිගේ සහ අරුගම් බොක්කේ ඉඳලා ත්‍රිකුණාමලය දක්වා වෙරළ තීරයේ කිසිදු ප්‍රමිතියකට නැතිව, අනවසර ඉදිකිරීම් කොයිතරම් හදලා තියෙනවද, ඒවට අවසර පත් දුන්නෙ කොහොමද කියලා හොයලා බලන්න.
නොකියම බැරි කතාවකුත් තියෙනවා. පසුගිය දසක දෙකක පමණ කාලයේ කොළඹ ඇතුළත අති ජනප්‍රිය පාසල් දුසිමකට පමණ ඉල්ලුම සීඝ්‍රයෙන් වැඩි වුන නිසා, පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේදී නිවසේ සිට පාසලට ඇති දුර ප්‍රමාණය කිලෝ මීටරයකටත් වඩා අඩු කරන්න බලධාරීන්ට සිදු වුනා. ඒ නිසා නිල ලේඛන අනුව දැන් ඒ පාසල්වල ඉගෙන ගන්න ළමුන්ට, උදේ හවස පාසලට ඇවිදගෙන යන්න එන්න පුළුවන්.
නමුත් ගිහින් බලන්න. මීගමුවෙන්, මිනුවන්ගොඩින්, වරකාපොලින්, ඇහැළියගොඩින්, හොරණින්, අලුත්ගමින් වගේ දුර ඈත ප්‍රදේශවල ඉඳන් එන “පාසල් සේවා” වාහන කොයි තරමක් තියෙනවද කියලා. ඒ තමයි මේ ලංකාවේ රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන්/පතිනියන්, ආදි ශිෂ්‍ය සංගම්, මධ්‍යමපංතික දෙමාපියන් සහ දේශපාලකයින් හවුල්වන, කවුරුත් දන්න නමුත් කවුරුත් කතා නොකරන, වසරකට රුපියල් කෝටි ගණනක් අත මාරුවන දැවැන්තම දූෂණය.
මේකෙන් කියන්නේ, දහම් පාසල්ද ඇතුළත් විධිමත් අධ්‍යාපනයේ ඉඳලා මේ සමාජයේ හර පද්ධති, පොදු වටිනාකම්, සදාචාරය, විනය, ආකල්ප, ඒ සියල්ල බිඳ වැටිලා කියලයි. කුණු වෙන්න පිරිහුණු එවැනි රටක අපි ඉන්නේ ආර්ථික දරිද්‍රතාවකට වඩා බරපතල බුද්ධිමය දරිද්‍රතාවයකයි. ඒක මේ වර පාර්ලිමේන්තුවෙන් කදිමට පෙනෙනවා.
මේ පාර්ලිමේන්තුවට විශේෂයෙන් මාලිමාවේ මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් ලෙස තොගේට තෝරා පත් කෙරුණේ බරපතල බුද්ධිමය දරිද්‍රතාවයට හසුවුන සමාජයේ ග්‍රාමීය හා අර්ධ ග්‍රාමීය පහළ මැදපංතියෙන්. පසුගිය මාස 05 ක කාලයේ පාර්ලිමේන්තු විවාද වලට මොන ආකාරයෙන් හරි දායක වුනු ඔවුන්ගේ මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් දුසිම් දෙකක් වත් නැහැ. අනෙක් අය ඉන්නේ සේසත් වගේ අත ඔසවන්න විතරයි. මේ පාර්ලිමේන්තුව ඇත්තටම නිදහසින් පසු තේරී පත් කෙරුණු බුද්ධිය, දැනුම අතින් ඉතාම දුප්පත්, නිවට පාර්ලිමේන්තුවයි.
“අපි අවංකයි” කියුවට, එහෙම පාර්ලිමේන්තුවකින් මේ බිඳ වැටුණු රට, ආර්ථික වශයෙන් පමණක් නෙවෙයි, සමාජීය වශයෙන්ද ගරා වැටුණු රට, දියුණු කරන්න අවශ්‍ය විකල්ප මාවතක් හදා ගන්න පුවළුන්ද? ඒ සඳහා අවශ්‍ය නැවුම් බුද්ධි සම්පතක් මාලිමාවේ නැහැ. නමුත් මාලිමාවට ඡන්දය දුන්න ඔබට ඒ වගකීම අත හැරලා යන්න බැහැ. ඒ නිසා නැවත හිතලා බලන්න. දේශපාලන වෛරයට, රස කතා වලට, “දීලා බලමු” කිව්වට ඡන්දය දීලා කර ගත්තේ පහසුවෙන් නිවැරදි කර ගන්න පුළුවන් වරදක්ද කියලා හිතන්න.
අපි කතා කරමු කිව්වේ ඒකයි. මෙතැනින් ගොඩ යන්න අවශ්‍ය විකල්පය ගැන කතා කරන්නයි.
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී