මෙරටට පැමිණි පිලිපීන සංචාරකයෙකුට වැලිගම පිහිටි සර්ෆින් ආයතනයක සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් එම සංචාරකයා සිය යූටියුබ් ගිණුමේ ඊයේ (24) පළ කර තිබුණා.

එම සිද්ධිය පසුගිය වසරේ පෙබරවාරි 14 වනදා වාර්තාවූවක්. ඒ සම්බන්ධයෙන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාගවෙමින් පවතින අතර, මෙම වසරේ එළැඹෙන සැප්තැම්බර් 11වනදා එම නඩුව යළි කැඳවීමට නියමිත බවත් පැවසෙනවා.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයද නිවේදනයක් නිකුත් කර තිබුණා.

එම නිවේදනයට අනුව මෙම සිදුවීම සිදු වූ දිනම අදාළ පිලිපීන ජාතිකයා තමන්ට පහරදුන් බව පවසමින් වැලිගම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව සිදුකළ විමර්ශනයේදී, මෙම විදේශිකයා සංචාරයක් සඳහා මෙරටට පැමිණ කැමරාවකින් ඔහු සිදුකරන ක්‍රියාකාරකම් පටිගත කරමින් වැලිගම ප්‍රදේශයේ සංචාරය කරන අතරතුර ඔහු වැලිගම පැලෑන වෙරළ තීරයේ පිහිටි දියමත ලිස්සායාම පුහුණු කරනු ලබන ස්ථානයකට ගොස් දර්ශන පටිගත කිරීමේදී, එම ස්ථානයේ සේවකයෙකු ඊට විරුද්ධත්වය ප්‍රකාශ කර තිනුණා.

එහිදී ඇති වූ ආරවුලක් මත මෙම විදෙස් ජාතිකයාට එම පුද්ගලයා විසින් අතින් පයින් පහරදීමක් සිදුකර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව සිද්ධිය සිදු වූ 2024.02.14 දිනම වැලිගම ප්‍රදේශයේදී, වැලිගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මෙම පහරදීම සම්බන්ධයෙන් වයස අවුරුදු 24ක් වන වැලිගම පැලෑන ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

මේ අතර එම නිවේදනයේ මෙම සිදුවීම මෙන්ම මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ට ඇතැම් අවස්ථාවලදී විවිධ පුද්ගලයින් විසින් සිදුකරනු ලබන පහරදීම් ඇතුළු ඔවුනට මුහුණපෑමට සිදුවන ගැටලු සම්බන්ධයෙන් පලවන වීඩියෝ ගැනද කරුණු සඳහන් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ අදාළ සිදුවීම් ගැන පොලිස් ස්ථානවෙත වාර්තා වන පැමිණිලි හෝ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන වීඩියෝ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් කඩිනමින් ක්‍රියාමාර්ග ගෙන සැකකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

එසේ වුවද මේ වනවිට සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙන මෙන්ම පොලීසිය විසින් විමර්ශන සිදුකර අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇති සිදුවීම් පවා ඉතා මෑත කාලයේ හෝ දින කිහිපයකට පෙර සිදු වූ සිද්ධීන් ලෙස හුවා දැක්වෙන ආකාරයට ඇතැම් පුද්ගලයින් හෝ පුද්ගල කණ්ඩායම් විසින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නැවත නැවත සංසරණය කරවීමට ක්‍රියාකරන බවට නිරීක්ෂණය වනවා.

එබැවින් පෙර සිදුවීම් නැවත නැවත සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය කරවීමට කටයුතු කරන පුද්ගලයින් හෝ කණ්ඩායම් විසින් රට අපකීර්තියට පත් කිරීමට හෝ වෙනත් අරමුණකින් එසේ සිදු කරන්නේද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඔවුනට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි අදාළ නිවේදනයෙන් පොලීසිය වැඩිදුරටත් පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here