අභාවප්‍රාප්ත වූ රංගවේදිනී මාලනී ෆොන්සේකාගේ අවමඟුල් උත්සවය වෙනුවෙන් කොළඹ නිදහස් චතුරශ්‍රය අවට අද (26) විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය නිවේදනය කරනු ලබනවා.
ඒ අනුව, විශේෂ අවමංගල්‍ය පෙරහැර පෙරවරු 07.30 ට බෞද්ධාලෝක මාවතේ ජාවත්ත හන්දියෙන් ආරම්භ වී බොරැල්ල දෙයට ගමන් කර, මේඩ්ලන්ඩ් පෙදෙස හන්දියෙන් වමට හැරී මෙඩ්ලන්ඩ් පෙදෙස මාර්ගය ඔස්සේ ගමන් කර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ හන්දියෙන් වමට හැරී නිදහස් මාවත ඔස්සේ ගමන් කර පෙරවරු 09.00 ට නිදහස් චතුරශ්‍රය වෙත පැමිණිමට නියමිතයි.
එහිදී, මෙම අවමංගල්‍ය පෙරහැර හා උත්සවය වෙනුවෙන් මාර්ග වසා තැබීමක් සිදු නොකරන අතර, අවමංගල්‍ය පෙරහැර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ හන්දියේ සිට නිදහස් මාවත ඔස්සේ නිදහස් චතුරශ්‍රය දක්වා ගමන් කිරීමේදී විනාඩි 15 ක කාලයක් සඳහා නිදහස් වටරවුම සිට නිදහස් මාවතට ඇතුළු වන රථවාහන සීමා කෙරෙන බව පොලිසිය නිවේදනය කරනු ලබනවා.
එමෙන්ම, අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන අවස්ථාවේ ඒ අවට පිහිටා ඇති නිදහස් මාවත සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඉදිරියෙන් දිවෙන ප්‍රේමකීර්ති ද අල්විස් මාවත යන මාර්ගයන්හි අවහිරතාවයක් ඇති වීමට ඉඩ ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
ඒ අනුව, විකල්ප මාර්ග ලෙස නිදහස් වටරවුමේ සිට බෞද්ධාලෝක මාවතට ගමන් කරනු ලබන රථවාහන නිදහස් වටරවුමේ සිට තුම්මුල්ල හන්දිය දෙසට දිවෙන පිලිප් ගුණවර්ධන මාවත ඔස්සේ ගොස් රාජකීය විද්‍යාලය අසලින් වමට හැරී ගමන් කරනු ලබන මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවත ඔස්සේ ගමන් කර බෞද්ධාලෝක මාවතට පිවිසිය හැකි බවයි සඳහන්.