ශ්‍රී ලංකා පිතිකරු කුසල් ජනිත් පෙරේරාගේ විශිෂ්ඨ පිතිහරඹය හමුවේ 2025 පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහා තරගයේදී ලාහෝර් පිල හමුවේ කඩුලු හයකින් පරාජයට පත් වුණේ ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 201 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලාහෝර් කණ්ඩායම තරගය නිමා වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා. ඒ, කඩුලු 4 ක් දැවී සිටියදීයි.

ප්‍රවේගකාමී ඉනිමක් දියත් කළ කුසල් පෙරේරා අංක 4 ස්ථානයේ පන්දුවට පහර දෙමින් පන්දු 31 කින් ලකුණු 62 ක් නොදැවී ලබා ගත්තා. හයේ පහර 4 ක් හා හතරේ පහර 5 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා. භානුක රාජපක්ෂ පන්දු 16 කින් ලකුණු 14 යි.

අවසන් මොහොතේදී සිකන්ඩ රාසා පන්දු 7කින් නොදැවී ලකුණු 22 ක් ලබා ගනිමින් ලාහෝර් කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. ඔහුගේ ඉනිමට හයේ පහර හා හතරේ පහර 2 බැගින් ඇතුළත්.

රාසා මෙම තරගයේ කාසියේ වාසිය උරගා බැලීමට මිනිත්තු 10 කට පමණ පෙර එංගලන්තයේ සිට පාකිස්තානයට පැමිණ තිබූ පසුබිමකයි ඔහු එම සුපිරි ඉනිම ක්‍රීඩා කළේ.

පළමුව පන්දුවට පහරදුන් ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් හසාන් නවාස් ලකුණු 76 ක් රැස් කළේ පන්දු 43 කින්.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 29 (22) ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 22 (13) ක් රැස් කළා. පන්දු යැවීමේදී ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 24 ක් ලබා දෙමින් කඩුලු 3 ක් බිද හෙලුවා.

කුසල්ගේ ඉනිමේ දර්ශන පහතින් නරඹන්න –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here