වැලිගම ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ, විදෙස් වෙළෙඳපොළ සඳහා රබර් ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන කර්මාන්තශාලාවක අද (27) යළි දැවැන්ත විරෝධතාවයක් ආරම්භ වී තිබෙනවා.
අදාළ කර්මාන්තශාලාවේ සේවකයින් චෝදනා කරන්නේ ප්‍රංශ සමාගමකට අයත්ව තිබූ මෙම කර්මාන්තශාලාව හිටිහැටියේ ඉන්දියානු සමාගමකට විකිණීම හරහා එහි සේවකයින්ගේ රැකියා බරපතළ අවදානමකට ලක්කර ඇති බවයි.
එහිදී ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ තමන්ට රැකියාවෙන් ඉවත්වීම සඳහා සාධාරණ වන්දි මුදලක් ලබාදෙන ලෙස හෝ විකිණීමට පෙර තිබූ ආයතනයට සේවය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.
එසේම මෙම ආයතනයේ වෘත්තීය සමිතියක් පවතින අතර එහි නිලධාරීන් විසින් සාමාජිකයන්ට අහිතකර ලෙස ඇතැම් තීන්දු තීරණ ගෙන බහුතර සාමාජිකයන්ගේ එකඟතාවයකින් තොරව එම තීරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී විරෝධය පළකර තිබෙනවා.
මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් සාමාජිකයන් නියෝජනය කරමින් කණ්ඩායමක් සහ ආයතනය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් අතර කොළඹ කම්කරු කාර්යාලයේදී ඊයේ (26 ) සාකච්ඡාවක් සිදුකළ ද ඉන් තමන්ට සාධාරණයක් ඉටු නොවන බව පවසමින් ඔවුන් අද දිනයේ මෙම විරෝධතාවය ආරම්භ කර තිබුණා.
මෙම ආයතනය රබර් ආශ්‍රිත කර්මාන්ත ශාලාවක් වන අතර එම නිෂ්පාදනයන් විදේශීය රටවල්වලට පමණක් අලෙවි කිරීම විශේෂය.
මෙම කර්මාන්ත ශාලාවේ බහුතර සේවකයින් වසර 35 ත් 20 අතර දීර්ඝ කාලයක් තිස්සේ එහි සේවය කරන අතර එහි සමස්ත සේවකයන් සංඛ්‍යාව දහස ඉක්මවන බවයි වාර්තා වන්නේ.