ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාර්යාලය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ල විභාග කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ජූලි මස 23 වැනිදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අද (27) කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අතර එහිදී වග උත්තරකාර තිලංග සුමතිපාලගේ පාර්ශවයේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුකරය ඉල්ලා අස්කර ගැනීමට තම සේවා දායකයින් තීරණය කර ඇති බවයි.
ඒ අනුව මෙම නඩුකරය සමථයට පත්කර ගැනීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් එම නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව මෙම පෙත්සම ජුලි මස 23 වැනිදා කැඳවීමට නියම කෙරිණ.
පෙත්සම්කාර නිමල් සිරිපාල ද සිල්වා කියා සිටින්නේ තිලංග සුමතිපාල මහ ලේකම්වරයා වශයෙන් කටයුතු කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලය ද නිදහස් පක්ෂ කාර්යාලයේ කොටසක තිබෙන බවයි.
ඉකුත් වසරේ තිලංග සුමතිපාල පක්ෂ කාර්යාලය තුළ සිටියදී ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු පැමිණ ඉබි යතුරු දමා දොර වසා දැමූ බව චෝදනා කරමින් තිලංග සුමතිපාල විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පුද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එම පුද්ගලික පැමිණිල්ල තුළින් සාපරාධී බලය යෙදවීම සහ අයුතු රඳවා ගැනීම යන චෝදනා එල්ල කර ඇති බවත් නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කරයි.
එම පැමිණිල්ල සලකා බැලූ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය තමන්ට ඉකුත් වසරේ ජූලි මස 23 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර ඇතැයි සඳහන් කළ සිරිපාල ද සිල්වා එසේ සිතාසි නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවත් අභියාචනාධිකරණය හමුවේ සඳහන් කර තිබේ.
ඒ අනුව තමන්ට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන පෞද්ගලික පැමිණිල්ල විභාග කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් නිමල් සිරිපාල ද සිල්වා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා තිබේ.