කැකිරාව හා ඒ අවට ප්‍රදේශවල තරුණයන් ඉලක්ක කරගනිමින් අයිස්, හෙරොයින් හා මත්කරල් අලෙවි කිරිමේ ජාවාරමක නිරතවූ 60හැවිරිදි කාන්තාවක හා 18 හැවිරිදි තරුණයකු කැකිරාව මල්දෙනිපුර ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

කාන්තාවක ඇතුලු පිරිසක් මත්දුව්‍ය ජාවාරමක් සිදුකරන බවට කැකිරාව පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව සිදුකළ ක්ෂණික මෙහෙයුමකදි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබේ.

කැකිරාව මල්දෙනිපුර ප්‍රදේශයේ නිවසක් වටලා එම නිවස තුළ දී අදාළ සැකකාරිය හා සැකකාර තරුණයා සමඟ අයිස් හා හෙරොයින් මත්කුඩු තොගයක් අලෙවිය සදහා සූදානම් කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

පොලිසිය අදාළ නිවස වටලන අවස්ථාවේදී එහි සිටි තවත් තරුණ සැකකරුවෙකු පලා ගොස් ඇති අතර එලෙස පලා ගොස් ඇත්තේ පොලිස් අත්අඩංගුවටපත් සැකකාරියගේ පුත්‍රයා බවට ද පොලිසිය හඳුනාගෙන තිබේ.

ඒ අනුව, පොලිසිය තවදුරටත් එම නිවස පරික්ෂා කිරීමේදී එම නිවසේ කාමරයක් තුළ සූක්ෂමව සඟවා තිබූ තවත් මත්කරල් 500 ක් ද සොයා ගැනීමට හැකිව තිබේ.
ඒ අනුව එම සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්රෑම් 4350ක් ද, හෙරොයින් මිලිග්රෑම් 5150ක් ද, මත්කරල් 600ක් ද එහිදී පොලිසිය සොයා ගෙන තිබේ. වැටලිම සිදුකරන අවස්ථාවේ දී සැකකරුවන් එම මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීමේදී කිරා බැලීමට භාවිතා කළ කුඩා විද්‍යුත් තරාදියක් ඇතුළු ඇසුරුම් උපකරණ කිහිපයක් ද මෙහිදී පොලිස් භාරයට ගෙන තිබේ.

මත්කුඩු හා මත්කරල් ජාවාරම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවටපත් මෙම සැකකරුවන් අයිස් හා හෙරොයින් අලෙවි කිරීමේ ජාවාරම ලොකේෂන් ක්‍රමයට සිදුකර ඇති බව පොලිසිය සිදුකළ විමර්ශණවලදී අනාවරණය වී තිබේ. තවද සැකකරුවන් ලොකේෂන් ක්‍රමයට අනුව මත්ද්‍රව්‍ය සැඟවීමට යාම සදහා භාවිතා කළ බව කියන අංක තහඩු රහිත නවීන පන්නයේ අධීවේගී යතුරු පැදියක් ද මෙම මෙහෙයුමේදී පොලිස් භාරයට ගෙන තිබේ.

අයිස් හා හෙරොයින් මෙන්ම මත්කරල් ජාවාරම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවටපත් සැකකාර කාන්තාව කැකිරාව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසැලක ආපනශාලාවක සේවිකාවක වශයෙන්ද කටයුතු කරමින් සිට ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ. වැටලීම සිදුකරණ අවස්ථාවේ පලාගිය සැකකාරියගේ පුත්‍රයා ද අත්අඩංගුවට ගැනීමට මේ වනවිට විශේෂ මෙහෙයුමක් පොලිසිය ක්‍රියාත්මක කර ඇති අතර ඔහු ද මීට පෙර අවස්ථා කිහිපයක දී මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව නීතිමය පියවර ගෙන ඇති අයෙකු බව පොලිසිය කියයි.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් සැකකාර කාන්තාව හා සැකකාර තරුණයා කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

කැකිරාව පොලිසිය සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

(කැකිරාව කුෂාන් ජයවර්ධන)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here