ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ කලාපීය මෙහෙයුම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය හා එක්ව සිදුකළ විශේෂ එකාබද්ධ මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රා 02ක් සමඟ සැකකරුවන් එකොලොස් දෙනෙකු (11) ශ්‍රී ලංකාවට දකුණෙන් වූ ගැඹූරු මුහුදේ දී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණ.

එම බහු දින ධීවර යාත්‍රා දික්ඕවිට වරාය‍ට රැගෙනවිත්, අද (මැයි 28) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහය සහිතව සිදුකළ වැඩිදුර පරීක්‍ෂාවේදී, ප්‍රවාහනය කරමින් තිබූ මත්ද්‍රව්‍ය හෙරොයින් සහ අයිස් බවට තහවුරුව තිබේ.

ඒ අනුව දැනට සිදුකෙරෙන පරීක්‍ෂණවලින් අනාවරණයව ඇත්තේ, මත්ද්‍රව්‍ය ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් හයසියයකට (600) වඩා වැඩි ප්‍රමාණයක් වන බවයි.

එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය සඳහා නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා සමඟ නාවික හමුදාධිපති සහ වැඩබලන පොලිස්පති ද සහභාගී විය.

මෙහිදී අදහස් දැක්වු නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුමා, මත්ද්‍රව්‍යයෙන් තොර රටක් බිහි කිරීමේ රජයේ සංකල්පයට අනුව, රට තුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒම මැඩපැවැත්වීම සඳහා සියළුම මාර්ග අවහිර වන පරිදි ත්‍රිවිද හමුදාව, පොලීසිය, දේශීය හා විදේශීය බුද්ධි අංශ සහ නීතිය ක්‍රියාත්මක කරනු ලබන සියලු පාර්ශවයන් හා එක්ව, සැලැස්මක් සහිතව මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරනු ලබන බවත්, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන ඕනෑම පාර්ශවයක් වෙත දැඩි නීතිමය පියවර ගන්නා බවත් අවධාරණය කෙරිණ.

තවද, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයෙහි නිශ්චිත බර මේ වනවිට ගණනය කරමින් පවතින අතර, එම මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ බහුදින ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here