ශ්‍රී ලංකාව තුළ ඇති ආයෝජන අවස්ථා ගැන අධ්‍යනය කිරීමට හා ආයෝජන සැලසුම් කිරීම වෙනුවෙන් චීනයේ විවිධ පළාත් නියෝජනය කරමින් ඉහළ පෙලේ චීන ආයෝජකයින් පිරිසක් දිවයිනට පැමිණි අතර එම පිරිස හා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය අතර සාකච්ඡාවක් ඊයේ (28) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ලංකාවේ වාහන එකලස් කිරීම, රබර්, රසායන ද්‍රව්‍ය, සංචාරක, මැණික් හා ස්වර්ණාභරණ, කෘෂිකාර්මික නිෂ්පාදන, ඛනිජ නිෂ්පාදන ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවල පවතින ආයෝජන අවස්ථා ගැන අමාත්‍යාංශය විසින් ඔවුන්ට පැහැදිලි කළ අතර චීන ආයෝජකයින් විසින් එම ක්ෂේත්‍ර වලට අමතරව කෘතිම බුද්ධිය (AI), රොබෝ තාක්ෂණය (Robotics) සහ විදුළි භාණ්ඩ ඇතුළු ඔවුන්ට ආයෝජනය කළ හැකි වෙනත් කර්මාන්ත ක්ෂේත්‍ර පිළිබඳව ද ඔවුන් අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා ඇතුළු අමත්‍යාංශ නිලධාරීන් දැනුවත් කලේය.

මෙහිදී හදුන්නෙත්ති අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාවේ නව රජය ආයෝජකයන් වෙනුවෙන් දීර්ඝ කාලීන බදු පදනම මත ඉඩම් සහ අවශ්‍ය අනෙකුත් යටිතල පහසුකම් ලබා දෙන බවත්, ලංකාවේ පවතින භූගෝලීය පිහිටීම කර්මාන්තකරුවන් වෙත විශේෂ වාසියක් සලසා දෙන බවත්, ඔවුන් ලංකාවේ සිටින සති දෙකක කාලය අවසානයේ සැලසුම් කරන ආයෝජන සාර්ථක කර ගැනීමට අවශ්‍ය සහයෝගය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය විසින් ලබාදෙන බවට පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here