පොලිසියට ඔත්තු ලබා දුන් බවට සැකයෙන් පුද්ගලයකු පැහැරගෙන ගොස් පහරදී මන්නයකින් ගෙල කපා ඝාතනය කර අත්හැර දමන ලද අනාරක්ෂිත කිරිමැටි වලකට දමා පලා ගිය සිව් දෙනාගේ කල්ලියේ ප්‍රධාන සැකකරුවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඇතුළු දෙදෙනෙකු මාස 6 කට පසු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
එම සැකකරුවන් ඝාතනය සඳහා යොදාගත් මන්නා පිහියක් සහ පැහැරගෙන රැගෙන යාමට යොදාගත් ත්‍රී රෝදයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙලෙස ඝාතනය කර ඇත්තේ මොරන්තුඩුව දෙල්දූව වත්ත පදිංචිව සිටි පි . එරංජන් රණබාහු ගුණරත්න නැමැති (50) හැවිරිදි අවිවාහක කුලීකම්කරුවෙකි.
දැඩි ලෙස ඉදිමි විකෘති වී තිබියදී 2024.11.13 වෙනි දින හමුවූ මළ සිරුර සම්බන්ධයෙන් කළුතර උතුර පොලිස් පොතේ නාඳුනන මළ සිරුරක් යැයි සටහන්ව නාගොඩ මහ රෝහලේ මෘත ශරීරාගාරයේ මළ සිරුර තැන්පත් කර තිබියදී කළුතර අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් රසාංජලා පෙරේරා මහත්මියගේ නියෝග මත ප්‍රධාන අධිකරණ වෛද්‍ය කේ. එම්. පි .වි. ගුණතිලක මහතා විසින් පශ්වාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව එම මරණය තියුණු ආයුධයකින් ගෙල කපා සිදුකළ ඝාතනයක් බවට අනාවරණය වූ බව පොලිසිය කියයි
අදාළ මරණය සම්බන්ධයෙන් වහා සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්තුමිය වැඩ බලන පොලිස්පතිවරයාට කරන ලද ලිඛිත නියෝගයක් අනුව කළුතර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන මහතාගේ උපදෙස් මත කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක පි. ආර්. වීරසේන මහතා පුරා මාස හයකට අධික කාලයක් විවිධ ප්‍රදේශවල සැරිසරමින් ඝාතනයට ලක් වූ පුද්ගලයා සම්බන්ධයෙන් කරුණු රැස්කර ගත් තොරතුරු වලට අනුව ඔහුට කිසිදු නීති විරෝධී ක්‍රියාවකට හෝ පොලිසියට ඔත්තු ලබාදීමේ කටයුත්තකට සම්බන්ධ නොවූ පුද්ගලයකු බවට අනාවරණය කරගෙන ඇත.
අනතුරුව එවන් පුද්ගලයෙකු කවුරුන් විසින් ඝාතනය කළාදැයි සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ලද රහසිගත තොරතුරු සහ අනෙකුත් සාක්ෂි පදනම් කරගෙන ප්‍රධාන සැකකරු කළුතර උතුර පොලිස් වසමේ ගංකන්ද ගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඝාතනයේ සුළ මුල අනාවරණය කරගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
ඒ අතරතුර ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සහෝදරයකු මෘත ශරීරාගාරය වෙත පැමිණ ඝාතනය වූ පුද්ගලයාගේ සිරුරේ තිබූ පච්චයකින් මළ සිරුර තම සහෝදරයාගේ බවට හඳුනා ගෙන තිබිණි.
ප්‍රධාන සැකකරු වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු 2024.වසරේ නොවැම්බර් මස 13 වෙනි දිනට ආසන්න දිනයකදී මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මොරන්තුඩුව කලපුගම ප්‍රදේශයේ නිවසකට ගිය අවස්ථාවේදී එම ජාවාරම්කරුගේ නිවස අසල මරණකරු ද රැඳී සිට අතර එම ජාවාරම්කරු ප්‍රධාන සැකකරුට මත්ද්‍රව්‍ය ලබාදීම එදින ප්‍රමාද කර ඇතැයිද සැකකරුගෙන් අනාවරණය වී ඇත.
එලෙස ප්‍රමාද කර ඇත්තේ මරණකරු විසින් පොලිසියට ඔත්තු ලබාදීමට සැලසුම් කර ඇති නිසා යන ඇති සැකයෙන් එදින ප්‍රධාන සැකකරු ඔහුගේ ගම් ප්‍රදේශය වන කළුතර උතුර ගංකන්ද ගොඩවත්ත ප්‍රදේශයේම පුද්ගලයන් තිදෙනෙකු සමග තීරෝද රථයකින් මධ්‍යම රාත්‍රී 12 ට පමණ මියගිය පුද්ගලයා තනිව ජීවත් වූ නිවස වෙත ගොස් දොර කඩා ඇතුළු වී මරණකරු පැහැරගෙන තීරෝද රථයකින් රැගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.
සැකකරුවන් සිව් දෙනා විසින් මරණකරුව කළුතර උතුර පොලිස් වසමේ දෙදියවල ඉබ්බන්විල අනාරක්ෂිත කිරීමැටි වලක් අසලට රැගෙන ගොස් ප්‍රධාන සැකකරු රැගෙන ආ මන්නයේ පිට ප්‍රදේශයෙන් පාදවලට පහර දෙමින් ” උඹ එදා කලපුගම ගේ ගාව සිටියේ පොලිසියට ඔත්තු ලබා දෙන්න නේද යැයිඅසමින්” පහර දී ඇති අතර එම පුද්ගලයා එය ප්‍රතික්ෂේප කිරීමේදී දී මන්නයෙන් ගෙල කපා සැකකරුවන් සිව් දෙනා විසින් අත් දෙකෙන් සහ පාද දෙකෙන් අල්ලා කිරිමැටි වලට විසිකර දමා එම ස්ථානයෙන් පිටව ගොස් තිබූ බව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී වැඩිදුරටත් අනාවරණය වූ බව විමර්ශන නිලධාරියකු කීය.
ඒ අනුව මෙම ඝාතනයට සහය වූ තවත් පුද්ගලයන් තිදෙනකුගේ තොරතුරු ප්‍රධාන සැකකරුගෙන් අනාවරණය කරගෙන සිදුකළ විමර්ශන වලදී ඝාතනයට ලක්වූ පුද්ගලයා පැහැර ගැනීම සඳහා යොදාගත් ත්‍රී රෝද රථයේ හිමිකරු ද ඒ අතර සිටින බවට අනාවරණය වී ඇත.
එම සැකකාර පුද්ගලයා එම දිනවලම මෙම ඝාතනයට පොලිසියට හසුවේ යැයි බියෙන් තීරෝද රථය කළුතර උතුරු ප්‍රදේශයේ තීරෝද රථ මිලදී ගන්නා වෙළඳ සැලකට රුපියල් ලක්ෂ 10 ක මුදලකට අලෙවි කර විදේශ ගතව ඇතැයිද තවත් පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම හේතුවෙන් බන්ධනාගාර ගතව ඇතැයිද අනාවරණය වී ඇත.
අනතුරුව මෙම ඝාතනයට සම්බන්ධ තවත් එක් පුද්ගලයකු පමණක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි.
ප්‍රධාන සැකකරුගේ මග පෙන්වීම මත ඝාතනය සඳහා යොදාගත් මන්නා පිහිය දෙදියවල ඉබ්බන් විල කිරමැටිවල අසල කැලෑ ප්‍රදේශයට විසිකර දමා තිබියදී පොලිසිය මගින් සොයාගෙන ඇත.
ඝාතනයට ලක් වූ පුද්ගලයාව පැහැරගෙන ගාමට යොදාගත් ත්‍රී රෝද රථය එය මිලදී ගත් වෙළඳ ආයතනය මගින් වස්කඩුව ප්‍රදේශයේ පුද්ගලයකුට විකුණා තිබියදී භාරයට ගත් බව පොලිසිය කියයි.
ඝාතනයට ලක් වූ පුද්ගලයා කිසිදු චෝදනාවට ලක් වූ පුද්ගලයකු නොවන අතර පොලිසියට ඔත්තු ලබා දුන් පුද්ගලයකුද නොවන බවත් උසස් පොලිස් නිලධාරියකුු පැවසීය.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු 30 වයස අවුරුදු අනෙක් සැකකරු වයස 23 අවුරුදු පසුවන්නෙකි.
සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
( බණ්ඩාරගම- බිමල් ශ්‍යාමන් ජයසිංහ )