‘කුෂ්’ නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 46ක් සමග පසුගියදා (මැයි 12) අත්අඩංගුවට ගනු ලැබූ බ්‍රිතාන්‍ය ජාතික 21 හැවිරිදි තරුණියක වන චාර්ලට් මේ ලී, එළඹෙන ජූනි මස 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය අද (මැයි 30) නියෝග කළා.
මෙම මත්ද්‍රව්‍ය වැටලීම කටුනායක ගුවන් තොටුපොළ රේගු ඉතිහාසයේ අත්අඩංගුවට ගනු ලැබූ වැඩිම වටිනාකමකින් යුත් ‘කුෂ්’ මත්ද්‍රව්‍ය වැටලීම ලෙස සැලකෙන බවයි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ.
නඩුව කැඳවූ අවස්ථාවේදී මත්ද්‍රව්‍ය නාශක දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් සමඟින් අත්අඩංගුවට ගත් කුෂ් කිලෝ 46 ද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ, එම තොගය නඩු භාණ්ඩ කාමරයේ තැන්පත් කරන ලෙසයි.
නඩුව කැඳවූ අවස්ථාවේදී චාලට් මේ ලී නම් විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සම්පත් පෙරේරා මහතා සඳහන් කළේ ඇයව දැනට රඳවා ඇති බන්ධනාගාරය වෙත මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා පිරිසක් ගොස් වීඩියෝ ගතකර ලොව පුරා ප්‍රචාරය කර ඇති බවයි.
එමගින් ඇය දැඩි අගතියට පත්ව ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බලා සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා.
එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් බන්ධනාගාර නිලධාරීන් කැඳවා ඒ පිළිබඳව විමසීමට කටයුතු කළා.
ඊට පිළිතුරු දෙමින් එම නිලධාරීන් සඳහන් කර සිටියේ, ඔවුන් හිතවතුන් ලෙස පැමිණ ඇය සමඟ කතා කිරීමට අවසර ඉල්ලූ බවත් සමාන්‍ය ක්‍රමවේදය ඔස්සේ ඊට අවසර දුන්බවත් එහිදී පැමිණි පුද්ගලයකු සූක්ෂමව යොදාගත් උපකරණයක් මගින් වීඩියෝගත කර ඇති බවත් ය.
විදෙස් මාධ්‍යවේදීන් නඩු කටයුත්ත වාර්තා කිරීමට පැමිණ සිටීම සම්බන්ධයෙන් ද එහිදී අවදානය යොමු කළ බන්ධනාගාර නිලධාරීන් ඒ පිළිබඳව ද මහෙස්ත්‍රාත්වරියට කරුණු වාර්තා කළා.
එහිදී අතිරේක මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ නඩුව වාර්තා කිරීම සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් නැති බවත් එය වාරණය කිරීමට අවශ්‍ය නැති බවත්ය.
නමුත් විත්තාකාරියට ඒ සම්බන්ධයෙන් ගැටලු ඇත්නම් මින් ඉදිරියට නඩුව මාර්ගගත ක්‍රමවේදයක් යටතේ විමසීමට හැකි බවයි සඳහන් කළේ.
ඒ අනුව නීතිඥවරයා විසින් කළ විමසීමේදී විත්තිකාරිය සඳහන් කර සිටියේ, ඇය අධිකරණයට පැමිණීමට කැමති බවයි.
එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී විමසා සිටියේ මේ සම්බන්ධයෙන් මේ තරම් මාධ්‍ය අවධානය යොමු වීමට හේතුව කවරේ ද යන්නයි.
ඊට පිළිතුරු දුන් නීතිඥ සම්පත් පෙරේරා මහතා සඳහන් කළේ, ශ්‍රි ලංකා රේගුව මගින් මෙය දැනට ලංකාවේ ගුවන් තොටුපොළ මගින් අල්ලා ගත් විශාලතම කුෂ් මත්ද්‍රව්‍ය තොගය යැයි පැවසීමත්, එය බ්‍රිතාන්‍ය ඩේලි මේල් ආයතනය මඟින් බන්ධනාගාරය තුළ ගත් වීඩියෝ දර්ශන සමඟ ප්‍රචාරය කිරීමත් වන බවයි.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාරයට නියෝග කළේ ඇයව බැලීමට පැමිණෙන අමුත්තන් ගැන මීට වඩා සැලකිලිමත් වී ඥාතියකු බව තහවුරු කිරීමෙන් අනතුරුව ඇයව බැලීමට අවසර දෙන ලෙසයි.
එමෙන්ම ඒ සඳහා පැමිණෙන පුද්ගලයන්ට කලින් අවසර ලබා ගත යුතු බව ද ඇය අකමැති නම් කිසිවෙකුට ඇයව නොපෙන්වන ලෙස ද නියෝග කළා.
ඉන් අනතුරුව ඇයව තවදුරටත් ලබන ජුනි 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි නියෝග කළේ.
සැකකාරිය වෙනුවෙන් නීතිඥ සම්පත් පෙරේරා, නීතිඥ ගයාන් කලටුවාව, නීතිඥ ඒෂාන් සඳුන්ගහවත්ත, නීතිඥ අයේෂා මුදුගොමුව යන නීතිඥවරු පෙනී සිටියා.
දකුණු ලන්ඩනයේ සිට පැමිණි චාලට් මේ ලී හිටපු ගුවන් සේවිකාවකි. මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඇය ප්‍රකාශ කරන්නේ, ඇගේ ගමන් මලුවල මත්ද්‍රව්‍ය ඇති බවට ඇය නොදැන සිටි බවත් ඒවා කිසිවෙකු විසින් සිය ගමන් මලුවල තැන්පත් කර ඇති බවයි.