ලොව කීර්තිමත්ම රූපලාවන්‍ය තරඟාවලිය වන ලෝක රූ රැජින තරගාවලියේ අවසන් මහා තරගය අද (31) පැවැත්වෙනවා.
ඒ, ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් හි පිහිටි HITEX ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදීයි.
මෙවර (Miss World 2025) එය පැවැත්වෙන්නේ ලෝක රූ රැජින ඉතිහාසයේ, 72 වන සංස්කරණය ලෙසයි.
උත්සවය අවසානයේ වත්මන් රූ රැජින වන චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා විසින් මීළඟ අනුප්‍රාප්තිකයා හට කිරුළු පළඳවනු ඇති.
ඒ වෙනුවෙන් රටවල් 100කට අධික සංඛ්‍යාවක (108) රූමතියන් තරගවැදීමට නියමිතයි.
ඓතිහාසික හයිද්‍රාබාද් නගරය ලෝක රූ රැජින අවසන් මහා තරඟයට සත්කාරකත්වය සපයන පළමු අවස්ථාව මෙයයි. එය ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ සංස්කෘතික පොහොසත්කම ලෝකයට නිරාවරණය කිරීමට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් ලෙස ද දැක්විය හැක.
කෙසේ නමුත් 1996 ලෝක රූ රැජින තරගය සහ 2024 දී පැවති අවසන් තරගයෙන් පසුව, ඉන්දියාවේ මෙම ජාත්‍යන්තර වේදිකාව තැනෙන තුන්වන අවස්ථාව මෙයයි.
තරගාවලිය ආරම්භ වූ දා සිට (මැයි 10) මේ දක්වා තරගකරුවන් විවිධ තරග ඉසව් සඳහා මුහුණ දෙමින් අද අවසන් වේදිකාව දක්වා පැමිණීම අභියෝගාත්මක ගමනකි.
එම තරග ඉසව් අතර Sports Challenge, Head-to-Head Challenge, Top Model Competition, Multimedia Challenge, Talent Showcase ප්‍රධාන වේ.
අන් කවරදාටත් වඩා ශ්‍රී ලංකාව තුළ ලෝක රූ රැජින තරගාවලිය කෙරෙහි ඉහළ උද්‍යෝගයක් පවත්නා අයුරු ගෙවුණු කාලය පුරාවටම දක්නට ලැබිණ.
ඒ, ලාංකේය නියෝජනය වන අනුදි ගුණසේකර ලෝක රූ රැජින ගමන තුළ මෙරට ඉතිහාසය අලුතින් ලිවීමට සමත්කම් දැක්වීමත් සමඟයි.

ඇය සිය රූ රැජින ගමන තුළ මෙතෙක් වාර්තා කළ දස්කම් අතරට,
Talent Competition අංශයෙන්, අවසන් තරගකාරිනියන් අතරට පිවිසීම (අවසන් 24)
Head-to-Head අභියෝගයෙන්, අවසන් තරගකාරිනියන් අතරට පිවිසීම (අවසන් 20)
Multimedia Challenge වටයෙන්, ආසියාවෙ අවසන් තරගකාරිනියන් අතරට පිවිසීම (අවසන් 20)
Multimedia Challenge වටයේ ආසියාවෙ අනුශූරිය බවට පත්වීම (අවසන් 8) යනාදිය අයත් වේ.
අද අවසන් මහා තරගයේදී මීට ඉහත පැවති fast-track ඉසව් ජයග්‍රහණය කළ ජයග්‍රාහකයින් සහ විනිසුරුවන්ගේ තේරීම් ඇතුළුව තරඟකරුවන් 40 දෙනෙකු අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇති.
ඒ අනුව මේ වන විටත් රූමතියන් 18 දෙනෙකු විවිධ fast-track ඉසව් හරහා අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියි.
📌 Sports Challenge: Eliise Randmaa – Miss World Estonia
📌 Talent Challenge: Monica Kezia Sembiring – Miss World Indonesia
📌 Head-to-Head Challenge Winners:
Asia & Oceania: Idil Bilgen – Miss World Türkiye
Europe: Millie-Mae Adams – Miss World Wales
Africa: Faith Bwalya – Miss World Zambia
Americas & Caribbean: Anna-Lise Nanton – Miss World Trinidad and Tobago
📌 Top Model Competition Winners:
Europe: Jasmine Gerhardt – Miss World Ireland
Africa: Selma Kamanya – Miss World Namibia
Asia & Oceania: Nandini Gupta – Miss World India
Americas & Caribbean: Aurélie Joachim – Miss World Martinique
📌 Beauty With a Purpose Winners:
Valeria Pérez – Miss World Puerto Rico
Natasha Nyonyozi – Miss World Uganda
Millie-Mae Adams – Miss World Wales
Monica Kezia – Miss World Indonesia
📌 Multimedia Challenge Winners:
Asia & Oceania: Opal Suchata – Miss World Thailand
Europe: Andrea Nikolić – Miss World Montenegro
Africa: Kendra Issie – Miss World Cameroon
Americas & Caribbean: Mayra Delgado – Miss World Dominican Republic
මෙහි දැකිය හැකි විශේෂත්වයක් නම්, ඉන්දුනීසියා සහ වේල්ස් රූ රැජිනන් fast-track ඉසව් දෙකකින් ජයග්‍රහණය කර තිබීමයි.
ඒ අනුව ඉහළම 40 දෙනා අතරට පිවිසීමට තවත් රූමතියන් 24 දෙනෙකුට අවස්ථාව හිමිවේ.
එම 24 සම්පූර්ණ කරනුයේ ප්‍රධාන කලාප හතර නියෝජනය වන පරිදියි. (අමෙරිකාව සහ කැරිබියන්, අප්‍රිකාව, යුරෝපය, ආසියාව සහ ඕෂනියා)
අනතුරුව එම 40 දෙනා 20 දක්වා පටු වනු ඇති. ඒ එක් කලාපයකින් පහක් වන පරිදියි.
පසුව ඉහළම 8 දෙනා තෝරාගනු ලැබේ. ඒ එක් එක් කලාපයෙන් තරඟකරුවන් දෙදෙනෙකු බැගින් ඇතුළත් වන පරිද්දෙනි.
අවසන සෑම කලාපයකින්ම එක් නියෝජිතයෙකු කිරුළ සඳහා තරගවදිනු ඇති.
ඔවුන් අතුරින් ජයග්‍රාහකයා 2025 ලෝක රූ රැජින (Miss World 2025) ලෙස කිරුළු පළඳින අතර, අනෙක් තිදෙනා පළමු, දෙවන සහ තෙවන අනුශූරතාවන් ලෙස නම් කරනු ලැබේ (first, second, and third runners-up)
ශ්‍රී ලංකාවට ඓතිහාසික මොහොතක් :
ඉහත සඳහන් කළාක් මෙන් මෙවර රූ රැජින තරගාවලිය, ලෝක රූ රැජින ගමන තුළ මෙරට ඉතිහාසය අලුතින් ලිවීමට සමත්කම් දැක්වූ තරගාවලියකි.
ඒ, අනුදි ගුණසේකර ලෝක රූ රැජින වේදිකාව තුළ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කිරීම නිසාවෙනි.
ඉහත සඳහන් කළ ඈ ලද ජයග්‍රහණ මෙරට ඉතිහාසයේ පෙර නොවූ විරූ ජයග්‍රහණ ලෙස කැපී පෙනේ.
මෙම සාර්ථකත්වය ශ්‍රී ලංකාව ලෝක රූ රැජින ඉතිහාසයේ ප්‍රථම වතාවට fast-track ඉසව් තුනක් හරහා අවසන් තරගකරුවන් අතරට පැමිණීම සනිටුහන් කිරීම විශේෂය.
ඩොලර් මිලියනයක් වටිනා කිරුළක් :
ලෝක රූ රැජින 2025 ජයග්‍රාහිකාවට හිමිවන්නේ, කිරුළක් පමණක් නොවේ. ලෝක රූ රැජින සංවිධානය සහ එහි ගෝලීය හවුල්කරුවන් විසින් ජයග්‍රාහිකාවට අමෙරිකානු ඩොලර් මිලියන 1 ක මුදල් ත්‍යාගයක් ද පිරිනමනු ඇති. එමෙන්ම තවත් සුවිශේෂී තෑගි සහිතව තෙලන්ගානා රජයෙන් විශේෂ ගෞරවයක් ද ලැබෙනු ඇත.
එපමණක් නොව මෙම ගෞරවනීය, කීර්තිමත් ජයග්‍රහණය රටකට සංචාරක කර්මාන්තයේදී සේ ම ගෝලීය වශයෙන් ඉහළ වටිනාකම් රැසක් එක්කරන්නකි.
එමෙන්ම එය පෞද්ගලිකව ගත්කළ ජයග්‍රාහිකාවට දිගු ඉදිරි ගමනක් නිර්මාණය කරන්නකි.
ලෝක රූ රැජින ශූරතාව දිනා ගැනීම යනු, ඇයට ලෝකය දිනන්නට දොරටු රැසක් විවර කර දෙන්නක් සේ ම සිනමාව, වෙළඳ ප්‍රවර්ධනය වැනි ක්ෂේත්‍ර ගණනාවක අවස්ථා නිර්මාණය කරන්නක් ද වේ.
විශේෂම කාරණය නම්, රූ කිරුළ සමාජ වටිනාකම් උදෙසා කෙලෙස භාවිත කරන්නේද යන්නයි.
දිනූ කිරුළෙහි වටිනාකම හරිහැටි නොදැන කටයුතු කිරීම, එය අහිමිව යාමට ද මඟපාදනු ඇති.
ඊට උදාහරණ ඕනෑ තරම් ය.
මෙම තරගාවලිය තුළ එන ‘Beauty With a Purpose’ සංකල්පය විශේෂය.
රූ රැජිනක් යන්න, හුදෙක් ‘රූපයෙන් අග තැන්පත් වීම’ යන්න පමණක් අරුත් නොගන්වයි. රූ රැජිනකට හිමි සහ රූ රැජිනකට කළ හැකි සමාජමය වෙනස්කම් රැසකි.
අපේ බලාපොරොත්තුව :
රූ රැජින තරගාවලිය ආරම්භ වූ දා සිට අන් කවරදාටත් වඩා ඉහළ උද්‍යෝගයක් සහිතව, රටක් ලෙස අනුදිගේ ජයග්‍රහණය එක සිතින් ප්‍රාර්ථනා කිරීම කැපී පෙනෙන කාරණාවකි.
අනුරාධපුරයේ ඉපිද Miss World වේදිකාව දක්වා ඈ ගිය ගමන සරල එකක් නොවේ.
අනුදිගේ එකම බලාපොරොත්තුව වන්නේ, මේ පුංචි රට ලෝකය ඉදිරියේ ඉහළින්ම ඔසවා තැබීමයි.
ඒ ගැන ඈ වරෙක මෙයාකාරයෙන් හඬ අවදි කර තිබිණ.
”මගේ රට ලෝකය ඉදිරියේ බබළන්න ආසාවෙන් ඉන්නවා.
Mr. Sri Lanka 2024 වුණ නිසා මේඝ Mr. World තරගයේදී අවසන් දහ දෙනා අතරට අතරට ආවා.
ඒ නිසා අපේ රටට අවදානයක් ලැබුණා.
ඒ අඩිපාරේ ගිහින්ම ලංකාවට කීර්තියක් අරගෙන එන්න තමයි මමත් හිතාගෙන ඉන්නේ.”
ඈ ලෝක රූ රැජින වේදිකාවට යන්නේ, සුවිශාල සමාජ මෙහෙවරක් සිදුකරමිනි.
ඒ ඔබ දැනටමත් දන්නා පරිදි ඇය සිය රූ රැජින ව්‍යාපෘතිය ලෙස ඉදිරිපත් කළ, ‘ඔසප් දරිද්‍රතාවය’ (Period poverty) යන සමාජමය කාරණාවයි.
‘සහේලි’ (Saheli Foundation) අනුදි ඒ වෙනුවෙන් පිහිට වූ ලාභ අරමුණු කරනොගත් සංවිධානයයි.
සනීපාරක්ෂක නිෂ්පාදන ආකාරයෙන් පරිත්‍යාග ලබාදීම සහ සනීපාරක්ෂක පහසුකම් ලබාදීම, අවශ්‍ය තැන්වලට ජල පහසුකම් සහ වැසිකිළි පහසුකම් ලබාදීම, දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, ඔසප් දරිද්‍රතාවය මූලික කරගත් අනෙකුත් ගැටළු පිළිබඳ තොරතුරු සහ දැනුම ලබාදීම යනාදි පුළුල් ක්ෂේත්‍රයක් කරා ඇය සිය සංවිධානය ඔස්සේ ක්‍රියාකාරීව කටයුතු කරනු ලැබේ.

අනුරාධපුර මධ්‍ය මහා විදුහලෙන් සිප්සතර හැදෑරූ ඈ කැලණිය විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික සබඳතා පිළිබඳව ගෞරව උපාධිධාරිණියක් ද වේ.
සාමාජිකයන් පස්දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමල් දියණිය ඇයයි. අනුදිගේ පියා වෘත්තීය පොලිස් නිලධාරියෙකි. මව රූපලාවන්‍ය ශිල්පිනියකි.
වයස අවුරුදු 19 සිට විලාසිතා නිරූපිකාවක් හැටියට කටයුතු කරනු ලබන අනුදි, සිය උසස් අධ්‍යාපන කටයුතු ද මැනවින් ඉදිරියට කරගෙන යාම විශේෂය.
අනුදිට අනුව, ලෝක රූ රැජින යනු ඇය කුඩා කාලයේ පටන්ම බොහෝ සෙයින් උනන්දු වූ තරඟයකි. මේ හැබෑවක්ව ඇත්තේ වසර ගණනාවක සිට ඈ දුටු සුන්දරම සිහිනයයි.
එසේ නම්,
රුව, ගුණ, පෞරුෂත්වය, බුද්ධිය යන මේ සෑම කාරණයක් ම ඇගයෙන ජාත්‍යන්තර වේදිකාව නියෝජනය කරන අපේ රුවැත්තිය අනුදි ගුණසේකර ඔබට මෙවර රූ රැජිණ කිරුළින් ලක් මව සැරසීමට හැකියාව ලැබේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු !!
සටහන : නඳුනි ආරියවංශ