දිවුලපිටිය පින්න ලන්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ජීවන් මධුසංක නමැති පුද්ගලයා දිවුලපිටිය පොලිසියේ අපරාධ අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, හෙරොයින් ග්‍රෑම් 35ක් ද සමඟයි.

අත්අඩංගුවට ගත් සැකකරු දිවුලපිටිය ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ යෙදෙන, ප්‍රධාන සැකකරුවෙක් බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කරන්නේ, ඔහු විසින් ප්‍රදේශ කිහිපයකට ම හෙරොයින් බෙදා හැරීම සිදුකරන බවයි.

ඒ අනුව කටුවැල්ලගම, මිනුවන්ගොඩ, මරදගහමුල, දූනගහ ආදී ප්‍රදේශ රැසකට මත්ද්‍රව්‍ය බෙදා ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු ඒ සඳහා යතුරු පැදියක් භාවිත කර ඇති අතර, එම යතුරු පැදිය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, මෙම සැකකරුට විවිධ අපරාධ සම්බන්ධයෙන් වෙනත් නඩු ද ඇති බව‍යි.

සැකකරු සන්තකයේ තිබී භාරයට ගත් හෙරොයින්වල වටිනාකම ලක්ෂ දහයකට අධික වන බවයි දිවුලපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති හේමා ලියනගේ මහතා සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු අනාවරණය කරමින් දිවුලපිටිය පොලීසිය සඳහන් කළේ, සැකකාර ජීවන් මධුසංක නමැති පුද්ගලයාට ඩුබායි සිට මත්ද්‍රව්‍ය මෙහෙවන පුද්ගලයෙක් මෙම මත්ද්‍රව්‍ය ලබා දී ඇති බවත්, ඒ අනුව සැකකරුගේ බැංකු ගිණුම් පරීක්ෂාවක් ද ඉදිරියේදී සිදුවන බවයි.

සැකකරු ඊයේ (01) මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දිවුලපිටිය පොලිසිය විසින් සැකකරුට දින 07ක රැදවුම් නියෝග ලබාගෙන තිබෙනවා.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

(මිනුවන්ගොඩ දමිත් තිසර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here