පවතින සහ පැවති කිසිදු රජයක් ණය මත යැපෙමින් ආර්ථිකය ඉදිරියට ගෙන ගියා මිස ණය නොවී රටක් තිරසාර ආර්ථික සංවර්ධනයක් කරා ගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් නොකල බව ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඔහු විසින් රචිත “විකල්ප මග” කෘතිය එළිදැක්වීමේ උත්සවයේදීය.

කොළඹ පදනම් ආයතනයේදී පසුගිය 31 පැවති උත්සවයේදී “විකල්ප මග” කෘතිය ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත විසින් ඔහුගේ මෑණියන් වන ජසින්තා වීරසිංහට සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති ආචාර්ය අනිල් ජයන්තට පිළිගන්වනු ලැබීය.

“අපි තාම අධිරාජ්‍යවාදී ආර්ථික ව්‍යුහයෙන් ගැලවිලා නැහැ. ඒ නිසා කොහොමද ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික ව්‍යුහයකට මේ රට අරන් යන්නේ කියන මාර්ගය තමයි අපි මේ පොත හරහා තර්ක කරන්නේ. ඒ හරහා තිරසාර ආර්ථික සංවර්ධනයක්, සමාජ සාධාරණත්වයක් සහ ස්භාවධර්මය රැකගැනීම යන ඉලක්ක සපුරා ගන්නේ කොහොමද කියන එක මේ පොත හරහා දිග හැරෙනවා. ඇත්තටම අපි නිදහස්ද? අපිට ජාතික ගීයක් තියෙනවා. ජාතික කොඩියක් තියෙනවා, ජාතික ක්‍රිකට් කණ්ඩායමක් ඉන්නවා. හැබැයි අපිට අපේ විදුලි බිලවත් තීරණය කර ගන්න බැහැ. එහෙම රටක් එහෙම ජාතියක් නිදහස් වෙන්න පුලුවන්ද? අපිට ආහාරවල ස්වයංපෝෂිත තත්ත්වයක් නැහැ, බලශක්තියේ ස්වාධිපත්‍යක් නැහැ. අපිට ඩොලර් තියෙනවා නම් විතරයි ඉන්පොර්ට් කරලා කන්න පුළුවන්.

මේ විදියට දිගින් දිගටම ඩොලර් ගැනීම හරහා 1978 ඉදලා අපි අපේ රට ෆොරින් බොන්ඩ් හෝල්ඩර්ස්ලා ඩොලර් කියන කරන්සිය හරහා වෙපනයිස් කරලා තියෙනවා. හමුදාවක් එවලා අල්ලන්න ඕන නැහැ. ඩොලර් කියන ණය පාවිච්චි කරලා අපේ රට දැනටමත් අල්ලලා තියෙන්නේ.

අපේ රජයන්වලට දිගින් දිගටම බලපෑම් කරන්නේ කවුද? ඒක තමයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව ඒ.ඩී.බී කියන ආයතන හරහා දිගින් දිගටම අපි යටත් කර ගැනීමේ උත්සාහයක සාර්ථකව නිරත වෙලා ඒ අය අපිව යටත් කරගෙන ඉන්නවා. මේක අපිට පේන්නේ නැත්තේ අපේ අධ්‍යාපනය හරහා මේ දැක්ම අවහිර කරලා තියෙනවා. අපේ රටේ ඉන්න උගත් පරපුර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මල් වෙඩි දාලා පිළිගන්න තරමට පහතට වැටිලා තියෙන්නේ. මේවා අපේ දේශපාලකයින්ට පේන්නේ නැත්තේ ඇයි? දල දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව අපේ ආහාර නිෂ්පාදනය තියෙන්නේ සියයට 10කටත් අඩුවෙන්.

දරුවන්ගෙන් එක්කෙනෙක් බඩගින්නේ ඉන්න කතාව ඉන් සනාත වෙනවා. එය බොරු වුනොත් තමයි පුදුමය. ආනයන අපනයන පරතරය 1978 පස්සේ කවදාවත් මේක ධන වෙලා නැහැ. හැමදාම ඍණ. මේක මහා අපරාධයක්. මේක වෙනස් කරන්න හැමෝම මැදිහත් වෙන්න ඕන. තෙල් ගබඩා කිරීම ඉහල තැනක තිබුනා නම් හම්බන්තොට පසු කරන් යන නැව්වලින් සියයට 10ක් ඉලක්ක කලොත් වසරකට ඩොලර් බිලියන 30ක පමණ ආදායමක් ගන්න පුළුවන්.

අපිට පුළුවන් නම් ආයෝජනයකට යන්න ලාබය භාග භාග හරි බෙදා ගන්න රුසියාව වගේ රටක් සමග ඒ අයගේ කරන්සියෙන් අපිට පුළුවන් අති විශාල විදේශ කරන්සි ප්‍රමාණයක් උපයා ගන්න. අපේ රාජ්‍ය යාන්ත්‍රණයේ අරමුණ කුමක්ද? වාරය දකින්නේ බදු ගහලා සල්ලි එකතු කරන්න පුළුවන් තැනක් විදියට. රට ජාතිය ආරක්ෂා කරන තැනක් විදියට දකින්නේ නැහැ. පොලිසිය ගත්තත් එහෙමයි.

රාජ්‍ය යාන්ත්‍රනය හදලා තියෙන්නේ මුලික අරමුණ සමාජීය නිෂ්පාදන සහ බෙදා හැරීමේ ක්‍රියාවලිය පරිපාලනය කරන්න. එහෙම නැතුව පාරට දාලා සල්ලි හම්බ කරන්න නෙවේ. පැහැදිලිවම ශ්‍රී ලංකා මහ බැංකුව රජයේ යටතට ගන්නේ නැතුව කිසිම දෙයක් කරන්න බැහැ. අද වෙද්දී අපේ රටේ ආණ්ඩු දෙකක් නිර්මාණය වෙලා තියෙනවා.

එකක් තමයි අපි ඡන්දය දීලා යවපු ආණ්ඩුව, අනික් එක තමයි නන්දලාල් ප්‍රමුඛ ණය හිමියාගේ ආණ්ඩුව. ඒක තියෙන්නේ සෙන්ට්‍රල් බැංකුවේ. ශ්‍රී ලංකා මහ බැංකුව අපේ නම් අපිට ගොවි ණය කපා දාන්නත් පුළුවන්, ගොවියන්ට බිජ දෙන්නත් පුළුවන්, පොහොර දෙන්නත් පුළුවන් ඇත්තටම ඒ අයට තියෙන්නේ ශ්‍රමය දාලා පලදාව දෙන්න. හාල් මාෆියාව දනගස්සන සුත්‍රයත් මේ පොතේ තියෙනවා. මොකද රුපියල අපේ. අපිට ඇමරිකාවෙන් දෙන දෙයක් නෙවේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here