රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල සහ අමාත්‍යවරයාගේ හිටපු සම්බන්ධීකරණ නිලධාරියකු වන නිශාන්ත බණ්ඩාර බස්නායක යන සැකකරුවන් තුන්දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (03) නියම කළා.
ඒ, අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නිකුත් කළ නියෝගයකට අනුවයි.
කෙහෙළිය රඹුක්වැල්ල, රමිත් රඹුක්වැල්ල සහ නිශාන්ත බණ්ඩාර බස්නායක යන සැකකරුවන් තුන්දෙනා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියේ අමාත්‍යවරයා ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට පුද්ගලයින් පහළොස් දෙනෙකු නාමිකව ඇතුළත් කොට ඔවුන්ට හිමි වැටුප් දීමනා හා අති කාලදීමනා ලබා ගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ අසූවකට අධික පාඩුවක් සිදුකළේ යැයි වන පැමිණිලි තුනකට අදාළවයි.
ඒ අනුව සැකකරුවන් රුපියල් 50,000/- බැගින් වූ මුදල් ඇප සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළා.
සැකකරුවන්ගේ ඇපකරුවන් ඔවුන්ගේ ළඟම ඥාතීන් විය යුතු බවත් නියෝගයේ සඳහන්.
අල්ලස් කොමිසමේ නිලධාරිනිය අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් සැකකාර රමිත් රඹුක්වැල්ල මහතාගේ ආදර්ශ අත්සන් විමර්ශන කටයුතු සඳහා ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ඒවා ලබාදෙන ලෙස ඔහු වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය රමිත් රඹුක්වැල්ල මහතාට හෙට (04) දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට එම ආදර්ශ අත්සන් ලබා දෙන ලෙසයි නියම කළේ.
ඉන් අනතුරුව අදාළ නඩු යළි ඔක්තෝබර් මස 10 වැනිදා කැදවීමට නියම කළා.
සැකකාර හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සහ රමිත් රඹුක්වැල්ල වෙනුවෙන් ජනාධිපති නිතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පෙනී සිටි අතර සම්බන්ධීකරණ ලේකම් වෙනුවෙන් ජනාධිපති නිතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා පෙනී සිටියා.