මේ ලංකාවට බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයින්ගෙන් නිදහස ලැබුණේ 1948 පෙබරවාරියේදී ය. නිදහස බුක්ති විඳින්ට අවශ්‍ය තමන්ගේම රාජ්‍ය පාලනයක් සඳහා ඔවුන් හදා දුන්

සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව තෝරා පත්කර ගැනීමේ මැතිවරණය ඔවුහු 1947 අගෝස්තු-සැප්තැම්බර මාසවල පවත්වූහ. මහල්ලන් රට කෑවා යැයි කියන්නේ එතැනින් පටන් ගත් රාජ්‍ය පාලනයට ය.

නිදහස් ලංකාවේ පළමු ඇමති මණ්ඩලයේ ලා බාලම ඇමති වූයේ එවකට වයස අවුරුදු 36 ක් වූ ඩඩ්ලි සේනානායක ය. ජෙ.ආර් ජයවර්ධනගේ වයස වූයේ 41 ක් විය. ඇමති මණ්ඩලයේ 18 න් 12 කු අවුරුදු 50 ට අඩු අය වූහ. අගමැති ඩී.එස්. අවුරුදු 63 ක් වූ අතර ඇමති මණ්ඩලයේ සාමාන්‍ය වයස වූයේ අවුරුදු 53 කි. එය මහල්ලන්ගේ ආණ්ඩුවක් නොවුනි.  

බරපතල ආර්ථික බිඳ වැටීමක් හමුවේ ගාලුමුව දොර (2022) අරගලයෙන් මහල්ලන්ට එරෙහි දේශපාලනය ජනප්‍රිය වූවත් ඒ මොහොතේ ආණ්ඩු පාලන වගකීම බාර ගත්තේ වයස අවුරුදු 75 ට ආසන්න වූ රනිල් වික්‍රමසිංහ ය. යම් වෙළඳපල ස්ථාවරත්වයක් සමග විදේශ විනිමය ඉතිරියක් හැදුවේ ඒ වික්‍රමසිංහ නම් මහල්ලා ය.

ඉන්පසු 2024 මැතිවරණයෙන් බලයට පැමිණි මාලිමා ආණ්ඩුවේ වයස් සංයුතිය, ඩී.එස්.ගේ ආණ්ඩුවේ සංයුතිය තරමටවත් තරුණ නැත. වත්මන් මාලිමා ආණ්ඩුවේ මුදල් හා ආරක්ෂක ඇමති ජනාධිපති අනුර කුමාරගේ වයස අවුරුදු 57 කි. අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය වයස අවුරුදු 55 ඉක්මවා ඇත. ඇමති විජිත හේරත්ද වයස අවුරුදු 57 ක් ය. ඇමති ලාල් කාන්ත ගේ වයස අවුරුදු 61 කි. කැබිනට් ඇමතිවරුන් 22 කු ගෙන් වයස අවුරුදු 50 ට අඩු ඇමතිවරුන් ඇමතිවරියන් ඇත්තේ 04 කි.

මහල්ලන්ට එරෙහි දේශපාලනය සතු තරුණ අඳබාලකම වන්නේ, 1947 පාර්ලිමේන්තුවේ සිට 2022 දක්වා අවුරුදු 75 ක් ආණ්ඩු පාලනය කෙරුවේ එකම පරම්පරාවක මහල්ලන් ලෙස කතාව ඉදිරිපත් කිරීමෙහි ය. 1947 සහ 1952 මැතිවරණ වලින් පත් වූ ආණ්ඩු පාලන එකම දේශපාලන පක්ෂයක එකම පරම්පරාවේ දේශපාලකයින්ගේ පාලන වූ නමුත් 1956 න් එහි යම් වෙනසක් විය. එය පක්ෂ මාරුවකට පමණක් නොව, පාර්ලිමේන්තු දේශපාලනයට ඊළඟ පරම්පරාවේ ක්‍රියාකාරීන්ද ඇතුලු වුනු වෙනසක් විය. එවගේම වැඩි ග්‍රාමීය නියෝජනයක් සමග අලුත් සමාජ පැලැන්තියක හවුලක්ද එහි විය. 56 පර්ලිමේන්තු මැතිවරණය, “56 පෙරැළිය” වූයේ එබැවින් ය.

‘60 දසකයෙහි තවත් පරම්පරාවකට ඉඩ ලැබිණ. 1960 ජුලි මැතිවරණයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පළමු වරට සෙනෙට් සභාවෙහි සභිකාවියක් ලෙස අගමැති වන විට ඇයගේ වයස අවුරුදු 44 කි. ඇයගේ ඇමති මණ්ඩලයේ බලසම්පන්න ඇමතිවරුන් අතරින් ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක දිවුරුම් දෙනවිට වයස අවුරුදු 30 ට ආසන්නව සිටියේය. ඉලංගරත්න ගේ වයස වූයේ 47 කි. කලුගල්ලට අවුරුදු 40 ක් විය. මෛත්‍රිපාල සේනනායක ගේ වයස අවුරුදු 44 කි.      

මෙහි ඉහතින් නම් සඳහන් සියලු දේශපාලන නායකයින් සහ ඔවුන්ගේ සමකාලීන දේශපාලන ක්‍රියාකාරීන් ගැන අද කතා කරන්නට වන්නේ 100 වන, 125 වන ජන්ම දිනය වැනි මතක් කිරීම් සඳහා ය. එහෙත් ඔවුන් රට පාලනය කෙරුවේ එවැනි මහල්ලන් ලෙස නොවේ. ඔවුන් ආණ්ඩු බලයේ හා විපක්ෂ දේශපාලනයේ සිටියේ අද තරුණ දේශපාලකයින් ලෙස පෙනී සිටින බොහෝ දෙනෙකුට වඩා වයසින් බාල දේශපාලකයින් ලෙසින්ය. අනෙක් කාරණාව නම් 40 දසකයේ දේශපාලනඥයින් හා 70 දසකයේ දේශපාලනඥයින් එක මල්ලකට දමා කරට ගත නොහැක.

අවසන් වශයෙන් කිව යුත්තේ, 50 සිට 70 දසකය දක්වා කාලයෙහි සමාජයට පිවිසි පරම්පරා තරම් විප්ලවකාරී අත්දැකීම් ලද පරම්පරාවන් මෙලොව නොසිටියේ යැයි කියා ය. ලොව දැවැන්තම විද්‍යා හා තාක්ෂණ වර්ධන ඔස්සේ වෙනස්වුනු දෛනික ජීවිත සමගින් වැඩුණු වෙනත් පරම්පරා නැත. පුර පොහෝ දින යැයි සඳට ගරු බුහුමන් කළ, පන්සල් ගිය වැඩිහිටියෝ, 1969 ජුලි 20 වන දින නීල් ආම්ස්ට්‍රෝං සඳට ගොඩ බැස සිටින ඡායාරූප බලා විමතියට පත් වූහ.

දෑත් පුරා දැලි තවර ගනිමින් අහුලාගත් දර කෝටු ලිපට දමා, ලිප පත්තු කර ගැනීමට තුනට නැමී බඩ පුරා පිඹින්නට සිදුවූ 50 දසකයේ ගෘහණියෝ දැන්  “කටස් ගා” ගැස් ලිප පත්තු කර ගනිති. වෙනත් දිස්ත්‍රික්කයක ගුරු පත්වීමක් ලැබ පිටත්ව යන දරුවාට, ගිය විගස තැපැල් පතක් එවන්න යැයි කියා එය ලැබෙන තෙක් දින දෙක තුනක් මග බලා සිටි 60 දසකයේ මව දැන් සිය මුණුපුරා හෝ මිණිපිරිය විදෙස් ශිෂ්‍යත්වයක් සඳහා ගුවනින් ගොස් පැය 10 ට 12 ට පසු ලන්ඩන් නුවරින් බැස හීත්රෝ ගුවන් තොටුපලේ සිට රූගත ඇමතුමකින් (Video call) විස්තර කියනු දැක බලා ගන්නීය. ලිපි තැපැල් කරන්නට මුද්දරයක කෙළ ටිකක් ගා, කවරයක අළවා තැපැල් කළ මහත්වරු දැන් ගෙදර සිට ක්ෂණයෙන් ඊ-මේල් යවති.  

හදිසි පණිවිඩයක් සඳහා වෙනත් දිස්ත්‍රික්කයකට කාර්යාලයේ මේසය මත කලුවට බරට තබා තිබූ  “ක්රාස් ක්රාස්” කියා අංක කර කැවූ උපකරණයෙන් දුරකතන ඇමතුමක් ගැනීමට, දුරකතන හුවමාරු මධ්‍යස්ථානයකින් සම්බන්ධය තහවුරු කරන තෙක් බලා සිටි 60 – 70 දසකය අමතක වන පමණට, දැන් හිතුමනාපෙට ඕනෑම රටකට කුඩා බොත්තම් ඔබන ජංගම දුරකතනයකින් ඇමතුම් ගනිති. කමිස හෝ කලිසම් සාක්කුවේ රැගෙන යන ජංගම දුරකතන දැන් වැඩිමනත් භාවිත කරන්නේ කෙටි පණිවිඩ යවන්නටත් ඡායාරූපකරණයටත් අන්තර්ජාලයෙන් පුවත් පත් කියවා ගැනීමටත් සමාජ මාධ්‍ය ජාල පිරික්සීමටත්ය.

චෙක් කොළයක් ලියා ගෙන ගොස් මුදල් නෝට්ටු ලබා ගැනීමට බැංකුවේ කවුන්ටරයක් ඉදිරිපිට පෝලිමේ සිටි තරුණයා දැන් එළෙස බැංකු නොයන්නේ ඔහු මහල්ලෙකු නිසා නොවේ. මුදල් නෝට්ටු අතපත නොගා, තම ජංගම දුරකතනයෙන් අවශ්‍ය මුදල් අවශ්‍ය ගිණුම් වෙත මාර්ග ගත මෙවලම් මගින් මාරුකර ගැනීමේ තාක්ෂණය ඔහු සතු හෙයනි.

60 දසකයෙහි ඊශ්‍රායෙල්-ඊජිප්තු යුද්ධ ගැන තොරතුරු බලා ගත්තේ දින දෙක තුනක් ප්‍රමාදව පුවත්පත් හා ගුවන් විදුලියෙන් වාර්තා කෙරෙන අයුරු ය. දැන් ඊශ්‍රායෙල ගුවන් ප්‍රහාර ගාසා රෝහල් විනාශ කරන අයුරු සජිවීව රූපවාහිනියෙන් හෝ ජංගම දුරකතනයෙන් බලා ගනිති.

ඉන්ධන හල් වෙත ගොසින් වාහන වලට ඉන්ධන ලබා ගත් 50 – 60 දසක අවසන් වී දැන් විදුලි බලයෙන් ධාවනය කෙරෙන වාහන වලට මාරු වී ඇත. ඒවායේ වම් කකුලෙන්  “ක්ලචය” පාගා වමතින් මාරු කරන “ගියර්” නැත. ඒවාද දැන් ස්වයංක්‍රීයව මාරු වන්නේය. දහඩිය දාගෙන වාහනයේ ජනෙල් ඇරගෙන දැන් ගමන් යන්නේද නැත. දැන් වාහනයේ වායු සමීකරණය තමන්ගේ මනාපයට සකස් කරගෙන ගමන් යති.

දැන් මහල්ලන්ව ඉන්නා අය 50 – 60 දසකයේ පාසලින් කට්ටි පැන හින්දි හා දෙමළ චිත්‍රපට නැරඹීමට කොළඹ සිනමා ශාලාවල ගැලරි පෝලිමේ සිටි නමුත් දැන් ලොව විශිෂ්ඨතම චිත්‍රපට සියල්ල නිවසේ සවි කරගෙන ඇති විශාල තිරයෙහි නෙට්ෆ්ලික්ස් ඔස්සේ බලති. 1960 වන විට අවුරුදු 60 ක් වූ ආයු කාලය දැන් 2022 දී අවුරුදු 77 ක් දක්වා දීර්ගව ඇතැයි ගණන් හදන්නටද උනන්දුවක් නැත්තේ මේ හෘදය, වකුගඩු හුවමාරු කරගත හැකි යුගයක් වන හෙයිනි.

එවැනි අපූරු විසල් සමාජ පරිනාමයක මහල්ලන් වූ ඔවුන්ගේ ජීවිත කාලයේ සිදුවූ විද්‍යා හා තාක්ෂණික පෙරැළියෙහි අත්දැකීම් විඳින්නට ලැබීමම ඔවුන්ගේ දැනුම් පරාසය පුලුල් කෙරුවකි. ඒ අත්දැකීම් ප්‍රතික්ෂේප කිරීමේ තරුණ ආවේග, මන්ද බුද්ධික පරම්පරාවක ප්‍රකාශනයකි.

(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here