පිළියන්දල කොළඹ මාර්ගයේ බෝකුන්දර හන්දිය ආසන්නයේ ලී වෙළඳ සැලක ඊයේ(4) අලුයම ඇතිවූ ගින්නකින් එම වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වූ බව පිළියන්දල පොලිසිය කියයි.
අලුයම 5.30 ට පිළියන්දල පොලිසියට සහ මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයට මෙම වෙළඳසැලේ ගින්නක් හටගන්නා බවට ලද තොරතුරකට අනුව එම ස්ථානයට ගොස් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කිරීමේදී ගින්න එන්න එන්නම වැඩිවීම හේතුවෙන් දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරී න් ගේ සාය ලබා ගැනීම සඳහාඔවුන් කැඳවීමට පියවර ගෙන තිබිණි.
එම ස්ථානයට මොරටුව සහ දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ජල බහුසර් ඇතුළු ගිනි නිවීමේ රථ අටකට ආසන්න ප්‍රමාණයක් සමගම ගිනි නිවීමේ නිලධාරීන් විස්සකට ආසන්න ප්‍රමාණයක් පැමිණ පුරා පැය දෙකකට ආසන්න කාලයක් දැඩි වෙහෙසක් දරා ගින්න සම්පූර්ණයෙන් මැඩ පැවැත්වීමට කටයුතු කර ඇත.
ඒ වනවිටත් වෙළඳසැලේ සියයකට අනූවකට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන දැවී තිබූ බව පොලිසිය සඳහන් කරයි.
මෙම ගින්නක් සමගම පිළියන්දල කොළඹ මාර්ගය දැඩි රථ වාහන තදබදයකට ලක් වූ අතර පිළියන්දල පොලිසියේ රථවාහන අංශය මගින් කොළඹට ගමන් ගන්නා මන් තීරුව සම්පූර්ණයෙන්ම තාවකාලිකව වසා දමා කොළඹට ගමන් ගන්නා වාහන ප්‍රතිවිරුද්ධ මන් තීරුව ඔස්සේ ධාවනය කරවීමට අවශ්‍ය කටයුතු සලසනු දක්නට ලැබිණි.
මෙම ගින්නෙන් කිසිවකුටත් තුවාල සිදු නොවීය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැතිි අතරින් විදුලි කාන්දුවක් බවට සැක කරන බව පොලිසිය කියයි.
පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.
(බණ්ඩාරගම- බිමල් ශ්‍යාමන් ජයසිංහ ,වැල්ලවත්ත, බි ජානක)