විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවදය වැළැක්වීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (04) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

පොලීසිය, ශිෂ්‍ය නියෝජිතයින් සහ සියලු අංශ සම්බන්ධ කරගනිමින් මෙම විශේෂ කාර්ය සාධක බලකාය පිහිටුවා ඇති බවයි අගමැතිවරිය පෙන්වා දුන්නේ.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ධනුෂ්ක රංගනාත් මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරිය මේ බව සඳහන් කළා.

ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සහ සමානත්මතාවය සම්බන්ධ කේන්ද්‍රය විසින් මේ සඳහා විශේෂ යෝජනා ඉදිරිපත් කර ඇති බවත්, දැනටත් නවක වදය සම්බන්ධ සිදුවීම් දැනුම්දීම සඳහා විශේෂ දුරකථන අංකයක් විශ්වවිද්‍යාලවලට හඳුන්වා දී ඇති බවත්, ඉදිරියේදි එය පැය 24 පුරාම පවත්වාගෙන යාමට යෝජනා කර ඇතැයිද අගමැතිවරිය සඳහන් කරනු ලැබුවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිවරිය පෙන්වා දුන්නේ, සියලු විශ්වවිද්‍යාලවල මෙම නවකවද විරෝධී කාර්ය සාධක බලකායන් පිහිටුවා, කිසියම් නවක වද සිද්ධියක් වාර්තා වූ අවස්ථාවේදී එම නවක වද විරෝධී කාර්ය සාධක බලකාය විසින් අදාළ නිලධාරින්ට දැනුම්දෙන යාන්ත්‍රණයක් ගොඩනගා ඇති බවයි.

මේ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පැවති රැස්වීමේදී විශේෂඥ කමිටුවක් පත්කර ඇතැයිද අගමැතිවරිය සඳහන් කළා.

වින්දිතයන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම්, වෛද්‍ය උපදෙස්, මානසික සෞඛ්‍ය සහය සහ චූදිතයන්ට පුනරුත්ථාපන වැඩසටහන් ආදීය ලබාදීමට මෙම වැඩසටහන ඔස්සේ කටයුතු කරනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here