කොටදෙණියාව පොලිසිය විසින් සිදුකළ මෙහෙයුමක දී ලක්ෂ 20ක රන් භාණ්ඩ සමඟ සැකකරුවන් තිදෙනෙක් සහ යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නා පිහි පෙන්වා මහමග ගමන් කරන පුද්ගලයින් බියවද්දා රන් ආභරණ පහැර ගැනීමේ නියුක්තව ඇති බවයි වාර්තා වන්නේ.
කටාන, කටුවැල්ලේගම, මීරිගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ, කටාන පොලිසිය සමග ඒකාබද්ධව කළ මෙහෙයුමකින් බවයි කොටදෙණියාව පොලිසිය සඳහන් කළේ.
ඒ අනුව පොලිස් භාරයට ගෙන ඇති රන් අභරණ තොගයේ වටිනාකම ලක්ෂ 20ක් පමණ වන බව සඳහන්. ඒත් සමඟම ඔවුන් මෙම පැහැරගැනීම් සඳහා භාවිත කළේ යැයි සැකකරන නවීන පන්නයේ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
එම යතුරුපැදිය ඉකුත් පෙබරවාරි මාසයේ දී බෙම්මුල්ල පොලිස් වසමේ දී මන්නා පිහියක් පෙන්වා තරුණයෙකු බිය ගන්වා පැහැරගත් එකක් බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණයව ඇත්තේ.
පොලිසිය සඳහන් කරන්නේ මේ වසරේ මුල් මාස කිහිපය තුළදී මෙම පිරිස විසින් මීරිගම, ගිරිඋල්ල, කොටදෙනියාව, පන්නල, දිවුලපිටිය, බෙම්මුල්ල සහ ගම්පහ ඇතුළු පොලිස් වසම් ගනණාවක මේ ආකාරයෙන් මන්නා පිහි පෙන්වා පැහැරගැනීම් කර ඇති බවට පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී තිබූ බවයි.
කොටදෙනියාව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාලිය ලක්මාල් පතිරාජ සූරිය මහතා සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සමග රන් භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
(මිනුවන්ගොඩ දමිත් තිසර)