පානදුර කෙසෙල්වත්ත රාජ්‍ය බැංකුවකට අඩු කැරට් අගයක් සහිත රන් භාණ්ඩ උකස්කර රුපියල් කෝටි 10කට ආසන්න මුදලක් වංචා කළ එම බැංකුවේම නිලධාරිනියන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාණ්ඩලික සහකාර නිලධාරිනියක් ලෙස කටයුතු කළ තැනැත්තියක් සහ කනිෂ්ඨ විධායක නිලධාරිනියන් දෙදෙනෙකි.

සැකකාරියන් තිදෙනා උකස් පත්‍රිකාවල ව්‍යාජ අත්සන් යොදා රුපියල් 99,370,100/= ක් වංචාකර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය වෙත ලද පැමිණිල්ලක් අනුව අත්අඩංගුවට ගෙන තිබිණ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාරියන් අතර 36 හැවිරිදි සහකාර නිලධාරිනිය බෙක්කේගම පුන්සරාවත්ත පාර නිවසේදීත්, 37 සහ 39 යන වයස්වල පසුවන කනිෂ්ඨ විධායක නිලධාරිනියන් දෙදෙනා වාද්දුව දළදා වත්ත පාර හා පානදුර ශ්‍රී මහා විහාර පාර නිවාසවලදීත් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

සැකකාරියන් පොදු දේපළ පනත යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය මඟින් පරීක්ෂණ පවත්වයි.

(බණ්ඩාරගම – බිමල් ශ්‍යාමන් ජයසිංහ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here