පළාත් සභා මැතිවරණ පනතට සංශෝධන යෝජනා කරමින් මඩකලපුව දිස්ත්‍රික් (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා විසින් අද (ජුනි 5) පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළා.

ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ‘X’ හි තබන ලද සටහනක දැක්වෙන්නේ, පළමු කියවීම සඳහා ගෙන ඇති පනත් කෙටුම්පත බලාත්මක කළහොත්, පළාත් සභා මැතිවරණ කැඳවීමට මැතිවරණ කොමිසමට බලය ලැබෙනු ඇති බවයි.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා, අගමැතිනිය සහ අනෙකුත් රජයේ සාමාජිකයින් 2025 අග භාගයේදී හෝ 2026 මුල් භාගයේදී මෙම මැතිවරණ පැවැත්වීමට ඇති ඔවුන්ගේ අපේක්ෂාව තහවුරු කර ඇති බැවින් මෙම පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කරගැනීම තුළින් ජනතාවට දුන් පොරොන්දුව ඉටු කිරීම සඳහා වන රජයේ කැපවීම පෙන්නුම් කිරීමට මෙය අවස්ථාවක් වනු ඇති බවයි.

ෂානක්කියන් රාසමාණික්කම් විසින් මෙලෙස ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතේ අරමුණු කිහිපයකි.

1988 මැතිවරණ ක්‍රමය (සමානුපාතික නියෝජනය) නැවත ක්‍රියාත්මක කිරීමෙන් පවතින නීතිමය රාමුව 2017ට පෙර තත්ත්වයට නැවත සැකසීම ඉන් ප්‍රධානය.

ඒ තුළින් සීමා නිර්ණයට අනුමැතිය අවශ්‍ය වූ 2017 මිශ්‍ර මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ගත් අසාර්ථක උත්සාහය නිසා ඇති වූ අවහිරතාව මඟහැරවීම, පළාත් සභා මැතිවරණ ප්‍රමාද කිරීමට හේතුවක් ලෙස භාවිතා කරන අපැහැදිලි තත්ත්ව ඉවත් කිරීම, මැතිවරණ කොමිසම සක්‍රීය කිරීම සහ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වූ පසු වහාම මැතිවරණ පැවැත්වීමට කටයුතු කිරීම ද ඒ අරමුණු අතර වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here