බ්‍රසීලයේ නිෂ්පාදිත පිස්තෝළ ගිනි අවියක් සමග සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන මෝදර නිපුණ නමැත්තාගේ ගෝලයෙකු අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය කියයි.
සැකකරු සමඟ ගිනි අවියට අමතරව මිලි මිටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 10 ක් හා හොරයින් මත්කුඩු මිලිගෑම් 12500 ක් පොලිස් භාරයට ගෙන ඇත.
පොලිස් භාරයට ගත් එම ගිනි අවියේ පි ටි 92 ඒ එෆ් එස් කැල් 9 එම් එම් ෆාශා ලෙස ඉංග්‍රීසි අක්ෂර වලින් සඳහන් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මට්ටක්කුලිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකයා රෝහණ කරුණාරත්න මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් අපරාධ නිවාරණ මෙහෙයුම් රාජකාරී යෙදී සිටියදී අපරාධයක් සිදු කිරීමට පූර්ව උපාය යෙදෙන හෝ අපරාධයක් සිදුකර පලායන බවට ඇති වූ සැකය මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් නිලධාරීන් විසින් පරික්ෂා කිරීමේදී මෙම ගිනි අවිය සහ මත්ද්‍රව්‍ය සොයාගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
සැකකරු ගන්දර කලල්ල දකුණ ගල් වැට කොරටුව පදිංචිකරුවෙකි.
සැකකරු මනුෂ්‍ය ඝාතනයක් හෝ වෙනයම් අපරාධයක් සඳහා මෙම ප්‍රදේශයේ පැමිණෙන්නට ඇති බවට සැක කරනබව පොලිසිය කියයි.
මට්ටක්කුලිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ කරුණාරත්න මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරේ.
(බන්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)