පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC) විසින් පසුගියදා අනුමත කරගත් කැබිනට් පත්‍රිකාවට අනුව, ඒ ඒ ව්‍යාපෘති සදහා තාක්ෂණ ඇගයීම් කමිටු පත් කිරීම මේ දිනවල සිදුවෙමින් පවතී.

මෙම වර්ෂයේ පළමු කාර්තුව තුළදී පමණක් NIRDC වෙත රුපියල් බිලියන 02කට අධික වටිනාකමින් යුත් ව්‍යාපෘති ලැබී තිබේ. මෙම ව්‍යාපෘතිවල තාක්ෂණික ශක්‍යතාවය, විනිවිදභාවයකින් යුතුව ඇගයීමකට ලක් කිරීම මේ වන විට ආරඹා ඇත.

එහිදී, මින් පෙර අප රට තුළ ක්‍රියාත්මක වූ යල් පැනගිය හා දුර්වල ඇගයීම් ක්‍රියාවලින් වෙනුවට ලෝකයේ තාක්ෂණයෙන් දියුණු අනෙකුත් රටවල්ද භාවිතා කරන ආකාරයේ විනිවිදභාවය සහ අපක්ෂපාතීත්වය යන මූලධර්ම මත පදනම් වූ නව ඇගයීම් ආකෘතියක් හඳුන්වා දීමටද කටයුතු කර තිබේ.

ඒ අනුව මෙම තාක්ෂණ ඇගයීම් කමිටු සඳහා අයදුම් කළ පිරිස වෙනුවෙන් පුහුණු සැසිවාර කිහිපයක්ද මේ වන විට ක්‍රියාත්මක කර ඇත. මෙහිදී නව තාක්ෂණික ඇගයීම් ක්‍රියාවලිය පිළිබඳ මූලික අවබෝධයක් ඇගයුම්කරුවන්ට (Reviewers) ලබා දීමත්, එම ක්‍රියාවලියට අදාළ නීතිමය රාමුව පිළිබඳ දැනුවත් කිරීමත් සිදුවිණි. මෙම පුහුණු සැසිවාර NIRDCහි නිර්මාතෘ හා විද්‍යා හා තාක්ෂණ පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබුණි.

මෙමස 02,03 සහ 04 යන දිනවල පැවැත්වූ මෙම සැසි සදහා දේශීය සහ විදේශීය විද්වතුන් පිරිසක් සම්බන්ධ වූ අතර, NIRDCහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්‍ය මුදිත ඩී. සෙනරත් යාපා මහතා ඇතුළු NIRDC කාර්ය මණ්ඩලය විසින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here