ලංකා ඛණිඡ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම විසින් ඉදිකළ කන්කසන්තුරේ නව ගබඩා සංකීර්ණය ඊයේ (08) දින පෙරවරුවේ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි, වරාය, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් යන අමාත්‍යවරුන් අතින් විවෘත කෙරුණා. විශේෂයෙන්ම උතුරු පළාතේ ඛණිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන සැපයුම හා බෙදාහැරීම පහසු හා වේගවත් කිරීමත් ප්‍රවාහන වියදම් අවම කිරීමත් මෙම ගබඩා සංකීර්ණය නිසා සිදු වෙනවා.
නව ගබඩා සංකීර්ණය ඩීසල්, පෙට්ට්‍රල් හා භූමිතෙල් ගබඩා කළ හැකි ටැංකි හයකින් සමන්විත වන අතර එහි මුළු ධාරිතාවය ලීටර් 525,000 ක්.
එමෙන්ම ඉන්ධන සැපයුම වැඩි දියුණු කිරීම හා ප්‍රවාහන වියදම් තව දුරටත් අවම කිරීම පිණිස ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම විසින් මාවිත්තපුරම් උපපොළ සහ පැරණි කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාළාව අතර අත්හැර දමා ඇති දුම්රිය මාර්ගය යළි ප්‍රතිසංස්කරණය කිරීමට යෝජනා කර ඇති අතර එම දුම්රිය මාර්ගය නව ඩිපෝව දක්වා දීර්ඝ කිරීම මගින් ඉන්ධන සැපයුම හා බෙදාහැරීමේ කාර්යක්ෂමතාව තව දුරටත් ඉහල නැංවෙනු ඇත. තවද අනාගත ඉල්ලුම සපුරාලීම සදහා ඉන්ධන ගබඩා ධාරිතාව පුළුල් කිරීමටද දැනටමත් සැළසුම් සකස් කර තිබෙනවා.
මෙම විවෘත කිරීම සහ යෝජිත දුම්රිය මාර්ග නිරීක්ෂණය කිරීම සදහා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි, වරාය, සිවිල් ගුවන්සේවා කටයුතු සහ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක, ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රෙස්කරන්, ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති ඩී.ජේ රාජකරුණා, එහි කළමනාකරණ අධ්‍යක්ෂක ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ ඇතුළු ඉහල නිළධාරීන් රැසැක් එක්ව සිටියා.