මඩකලපුව මහ නගර සභාවේ බලය පිහිටුවීමට ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය සමත් වුණා.

ඒ අනුව, ITAK අපේක්ෂක සිවම් පක්කියනාදන් මහතා (Sivam Pakkiyanathan) අද (11) එහි නගරාධිපති ධුරයට තේරී පත් වූ බව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා සිය ‘X’ ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.

සිවම් පක්කියනාදන් මහතා මෙලෙස නගරාධිපති ධුරයට තේරීපත් වන්නේ, සමගි ජන බලවේගයේ (SJB) මන්ත්‍රීවරුන්ගේ සහය ද ඇතිවයි.

මේ අතර, NPP රජය විසින් සභාව සුරක්ෂිත කරගැනීම සඳහා සාම්ප්‍රදායික නොවන පියවරයන් අනුගමනය කර ඇති බවත්, වාර්තා වන පරිදි හිටපු මන්ත්‍රී පිල්ලයාන්ගේ තමිල් මක්කල් විඩුතලෙයි පුලිකල් (TMVP) පක්ෂය සමඟ සන්ධානයක් ඇතිකර ගැනීමට පවා උත්සාහ කර ඇති බවයි මන්ත්‍රී රාසමානික්කම් සිය ‘X’ සටහනින් අවධාරණය කර ඇත්තේ.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලයාන් බරපතල චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන බැවින්, බලය ලබා ගැනීම සඳහා එවැනි පුද්ගලයෙකු සමඟ සන්ධානගත වීමට රජය දක්වන කැමැත්ත බරපතල ගැටළු මතු කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here