නවීන අධි තාක්ෂණික නියමු යාත්‍රාවක් පෞද්ගලික විනෝද චාරිකාවකට ලබාදී අනතුරට ලක් වීමෙන් රුපියල් කෝටි 22ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධානින් දෙදෙනෙකුට ආණ්ඩුව විසින් යුරෝපා සංචාරයක් ලබා දී ඇති බවට සිවිල් බුද්ධි පෙරමුණ චෝදනා කරනවා.

කොළඹ අද (11) පැවති මාධ්‍ය හමුවකදී එම පෙරමුණේ කැදවුම්කරු සංජය මහවත්ත ප්‍රකාශ කළේ මෙම යුරෝපා සංචාරයට වර්තමාන කළමණාකාර අධ්‍යක්ෂවරයා සහ ත්‍රිකුණාමලය වරායේ තවත් නිලධාරියෙකු ඇතුළු තිදෙනෙකු යාමට නියමිත බවය.

එම පාඩුව පිළිබඳව පරීක්ෂණයක් පවත්වා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්ෂවරයාගෙන් පාඩුව අය කරගන්නා ලෙස ඉල්ලා එම පෙරමුණේ කැදවුම්කරු සංජය මහවත්ත පසුගිය ජනවාරි මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් භාර දී තිබුණි.

වරාය අධිකාරියේ හිටපු සභාපතිවරයෙකුගේ පුත්‍රයෙකු සහභාගි වූ නැගෙනහිර මුහුදේ විනෝද චාරිකාවක් සඳහා අදාල නවීණ අධිතාක්ෂණික නියමු යාත්‍රාව සපයා වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්ෂවරයා එම චාරිකාවට නායකත්වය සපයා ඇති බවට එම පැමිණිල්ලේ සඳහන් වී තිබුණි.

කෙසේ වෙතත් අදාළ පැමිණිල්ල භාර දී මාස 5කට අධික කාලයක් ගත වී ඇතත් මෙතෙක් ඊට අදාළ විමර්ශන ආරම්භ වී ඇති වගක් නොපෙනන බවත්
එම නිසා දැන් හෝ සිද්ධිය සම්බන්ධයෙන් වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්ෂවරයා ස්ථාන මාරු කර හෝ වැඩ තහනම් කර පරීක්‍ෂණ කඩිනම් කරන ලෙස සිවිල් බුද්ධි පෙරමුණ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

“එම පැමිණිල්ල පිළිබඳ අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම මේ දක්වා කිසිඳු පියවරක් නොගැනීම කැපී පෙනෙනවා. අවම වශයෙන් ඒ සම්බන්ධයෙන් පැමිණිලිකරුගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කරනොගැනීම කණගාටුදායක තත්වයක්. එහිදී පැමිණිලිකරු සාක්‍ෂිකරුවන්ගේ ලැයිස්තුවක් දුන්න ද ඔවුන් සියලු දෙනා කැඳවීමට කටයුතු කර නෑ. එහි එකම දිගුවක් ලෙස අදාල ‘ටග් යාත්‍රා’ සිද්ධිය යට ගැසූ නිලධාරියා කැඳවූ බව දැනගන්නට තියෙනවා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා තනතුරේ සිටියහොත් ජනාධිපති සමාව පිළිබඳ පරීක්‍ෂණවලට බලපෑම් වන්නේ යැයි පවසමින් සේවය අත්හිටුවනවා.

නමුත් වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්‍ෂවරයාට එරෙහිව රජයට දැවැන්ත මූල්‍ය පාඩුවක් කළේ යැයි චෝදනාවක් තිබියදී ඔහු තවදුරටත් තනතුරේ රැදී සිටිනවා. වරාය අධිකාරියේ වර්තමාන කළමනාකාර අධ්‍යක්‍ෂවරයා එම තනතුරේ තවදුරටත් රැදී සිටිමින් ලේඛන වෙනස් කරමින් පරීක්‍ෂණයට සහ සාක්කිකාරයන්ට බලපෑම් කරමින් සිටිනවා.” යැයිද හෙතෙම කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here