ශ්‍රී ජයවර්ධනපුර නගරයට ආගමික හා සංස්කෘතික නව වටිනාකමක් එක්කරමින්, පළමුවරට සංවිධානය කරන ලද “ශ්‍රී ජයවර්ධනපුර පොසොන් උදානය 2025” ජුනි 10 වැනිදා ආරම්භ කෙරුණා.
මෙම පොසොන් කලාපය මාදිවෙල ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ තවත් රාජ්‍ය ආයතන කිහිපයක් ඒකාබද්ධව සංවිධානය කරනු ලැබූ අතර, පොසොන් කලාපය බත්තරමුල්ල “කමත” පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින්, කිබුලාවෙල මංසන්ධියේ සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහල් මාවත දක්වා විහිදීය.
බෞද්ධාගමික ප්‍රධාන උත්සවයක් වන පොසොන් උත්සවය සැමරීමට නිරන්තර සහයෝගය දක්වනු ලබන ආරක්‍ෂක අමාත්‍යාංශය නියෝජනය කරමින් මෙම පොසොන් කලාපයේ ඊයේ (ජුනි 11) දින සන්ධ්‍යාවේ පැවති ආරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා සහභාගී විය.
මෙම අවස්ථාව මඟින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා අධ්‍යාත්මික උරුමය ආරක්‍ෂා කිරීම සඳහා ඇති කැපවීම පිළිබිඹු කරනවා පමණක් නොව, අපගේ සමාජය ශක්තිමත් කිරීමේදී එකමුතුකමේ සහ සාමුහිකත්වයේ වටිනාකම්වල වැදගත් කාර්යභාරය ද අවධාරණය කරයි.
මෙම පොසොන් උදානය සැමරුම් උත්සවයට සමගාමිව ආගමික වතාවත්, විචිත්‍රවත් පොසොන් පහන් කූඩු සහ සංස්කෘතික ප්‍රදර්ශන ඇතුළත්ව තිබෙන අතර සාමය, සමගිය සහ සහජීවනය යන තුන් කල්හි වැදගත් වන බෞද්ධ වටිනාකම් මූර්තිමත් කරයි.
විහාරාධිපති පූජ්‍ය වැලිගල්ලේ පඤ්ඤාලෝක නාහිමිපාණන් වහන්සේගේ පුර්ණ සම්බන්ධීකරණයෙන් මෙම උත්සවය සංවිධානය කරන ලද අතර, මෙම අවස්ථාවට මහරගම නගරාධිපති සමන් සමරකොන් මැතිතුමා, බස්නාහිර ආණ්ඩුකාරවර ලේකම් ඉශාන් විජේතිලක මැතිතුමා, බස්නාහිර පළාත් සභා ලේකම් හර්ෂ විජේවර්ධන මැතිතුමා, ත්‍රිවිධ හමුදා සහ පොලිස් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද, විශාල බැතිමතුන් පිරිසක් ද ඊට සහභාගී වූහ.
මෙම වැඩසටහන එළඹෙන ජුනි 14 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.















