පිළියන්දල බෝකුන්දර වීරසිංහ මාවතේදී සිය මෝටර් රථයට ගිනි තබා විනාශ කළ පුද්ගලයෙකු ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සමාජ ශාලාවක වැඩ පරික්ෂකවරයෙකු ලෙස සේවය කරන 45 හැවිරිදි එක්දරු පියෙකි.
සැකකාර පුද්ගලයා සිය බිරිඳ සමඟ ඇති වූ ආරවුලකින් අනතුරුව මෝටර් රථයක් සමග ගිනි තබාගෙන සියදිවි නසා ගන්නා බවට බිරිඳට පවසා නිවසින් පිටවී නිවසට මදක් ඈතින් මෝටර් රථය නවතා ඉන්ධන ටැංකියට අසලට ගිනි තබා ඇතැයි පොලිසිය කියයි.
අනතුරුව මෝටර් රථය ඇතුළට ගොස් මඳ වේලාවක් සිට එය ගිනි ජාලාවෙන් වැසී යාමට ඔන්න මෙන්න කියා තිබියදී ඇතිවූ මරණ බියත් සමග එයින් පිටතට පැන දී බේරාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය පිළියන්දල පොලිසියට සැලවීමත් සමගම දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් කැඳවා ගින්න නිවා දැමුවත් ඒ වන විටත් මෝටර් රථය සම්පූර්ණයෙන් ගිනිගෙන දැවී ඇතැයි පොලිසිය කියයි.
මෝටර් රථය මාර්ගයේ තබා ගිනි තැබීමෙන් මාර්ගයට දැඩි ලෙස හානි සිදුවී ඇති අතර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ රජයේ දේපලවලට අලාභා හානි කිරීම සම්බන්ධයෙනි
සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පිළියන්දල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
(බණ්ඩාරගම- බිමල් ශ්‍යාමන්)

