ශ්‍රී ලංකා ගුවන් තොටුපොළේදී කුෂ් කිලෝ 46යි ග්‍රෑම් 60ක් සමඟ අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතික 21 හැවිරිදි චාලට් මේලී නම් කාන්තාව තවදුරටත් ජුනි 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය නියෝග කළා.

අතිරේක මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළේ, අදාළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව අද (13) මීගමුව බන්ධනාගාරය මඟින් මීගමුව මහෙස්ත්‍රාත් අංක 02 අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ පනතේ අංක 54 (A) යටතේ ආනයනය කිරීම, ජාවාරම් කිරීම, සන්තකයේ තබා ගැනීම යන චෝදනා යටතේ වැඩිදුර වාර්තාවක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශයේ පොලිස් කොස්තාපල් ඩි.එම්.එස් කුමාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

නඩුව කැඳවූ අවස්ථාවේදී මත්ද්‍රව්‍ය නාශක දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ අත්අඩංගුවට ගත් කුෂ් මත්ද්‍රව්‍ය තොගය ජුනි 11 වැනිදා රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවට යොමු කළ බවත් එම වාර්තා ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරන බවත්ය.

එමෙන්ම සැකකාර බ්‍රිතාන්‍යය ජාතික කාන්තාවගේ ජංගම දුරකථනය වැඩිදුරටත් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන බව ද සඳහන් කරන ලදී.

එහිදී එය නඩු භාණ්ඩ කාමරයේ තැන්පත් කිරීමට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. එමෙන්ම ඉදිරි විමර්ශන ප්‍රගතිය අධිකරණට ඉදිරිපත් කරන ලෙස එම නිලධාරීන්ට නියෝග කරන ලදී.

එහිදී චාලට් මේලී නම් වූ එම විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සම්පත් පෙරේරා මහතා සඳහන් කළේ එකී ජංගම දුරකථනයේ කවරයේ ඇති ඡායාරූපය ඇයට ඉතා වටිනා මතකයක් බැවින් එය ලබා දීමට කටයුතු සලසා දෙන ලෙසයි. එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාශයට ඒ පිළිබඳව සොයාබලා අධිකරණයට වාර්තා කරන ලෙසයි.

එමෙන්ම නීතිඥ සම්පත් පෙරේරා මහතා කරුණු දක්වමින් සඳහන් කළේ සැකකාරියගේ පෙර වැරදි සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීමටත් ඇය මීට පෙර ශ්‍රී ලංකාවට පැමිණ ඇති ද යන්න පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශයට නියෝගයක් කරන ලෙසයි.

ඒ අනුව අතිරේක මහේස්ත්‍රාත්වරිය පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශයට නියෝග කළේ එකී වාර්තා සොයා බලා ඉදිරිපත් කරන ලෙසයි.

අදාල නියෝග නිකුත් කිරීමෙන් අනතුරුව ඇයව තවදුරටත් ලබන ජුනි 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරන ලදී.

සැකකාරිය වෙනුවෙන් නීතිඥ සම්පත් පෙරේරා, නීතිඥ ගයාන් කලටුවාව, නීතිඥ ඒෂාන් සඳුන්ගහවත්ත, නීතිඥ මහිෂා මුදුගමුව යන නීතිඥවරු පෙනී සිටියා.

දකුණු ලන්ඩනයේ සිට පැමිණි 21 හැවිරිදි චාලට් මේලී, ඉකුත් මැයි 13 වැනිදා ශ්‍රී ලංකා රේගුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ රට තුළට නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ මත්ද්‍රව්‍ය තොගයක් ද සමඟයි.

හිටපු ගුවන් සේවිකාවක වන ඇය සඳහන් කළේ ඇගේ ගමන් මලුවල මත්ද්‍රව්‍ය ඇති බව තමා නොදැන සිටි බවත් ඒවා කිසිවකු හෝ විසින් එහි තැන්පත් කර ඇති බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here