ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම සදහා ජනපතිවරයා විසින් නම් කර එවූ අභියාචනාධිකරණ විනිසුරු එම්.ටී. මොහමඩ් ලෆාර්ගේ නම අවසාන මොහොතේ දී ඉවත් කරගන්නට සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පියවර ගෙන තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩුවක් සඳහා අභියාචනාධිකරණ වැඩබලන සභාපති එම්.ටී. මොහොමඩ් ලෆාර් මහතාගේ නම නිර්දේශ කිරීම සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් සිදුකිරීමට අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කරන ලද බව ආරංචි මාර්ග අනාවරණය කරයි.
එම ඡන්ද විමසීම ආරම්භ කිරීමට සූදානම්වත්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස කටයුතු කරන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද නම ඉවත් කරගන්නා බව දැනුම් දීමත් සමග ඡන්ද විමසීම සිදු නොකළ බව වාර්තා වෙයි.
අගවිනිසුරුවරිය සිය නිර්දේශය යොමු කිරීමේදී මතු කර තිබූ විරෝධය හේතුවෙන් තමයි මේ තත්ත්වය ඇතිවු බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.
මේ අතර, මීට පෙර මාධ්‍ය වාර්තා කළේ, අභියාචනාධිකරණ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර්, මෙම ජූනි මස 18වැනිදා (එනම් ශ්‍රේෂ්ඨාධිකරණ පුරප්පාඩුව ඇතිවීමට දින දෙකකට පෙර) සිය වයස අවුරුදු 63 සම්පූර්ණ වීම නිසා විශ්‍රාම ලැබීමට නියමිත බවයි.
ජනාධිපතිවරයා ලහි ලහියේ ඔහුගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යවා ඇත්තේ, මෙවැනි පසුබිමක යි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම ගන්නේ වයස අවුරුදු 65 දී වන අතර, එහෙත් මෙවැනි සම්ප්‍රදායක් අධිකරණ ක්ෂේත්‍රයේ මෙතෙක් පැවැත නැතැයි අධිකරණ ආරංචි මාර්ග සදහන් කරනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඇ) ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉහළ අධිකරණවලට පත්කිරීම් පිලිබඳ සිය තීරණය ගැනීමට පෙර අගවිනිසුරුවරයාගේ / වරියගේ අදහස විමසිය යුතු වනවා.
ඒ නිසා අගවිනිසුරු නිර්දේශය එම විනිසුරුවරයා / වරිය නම් කිරීමට පෙර ලබා ගැනීම සාමාන්‍ය සම්ප්‍රදාය යි.
එහෙත් දැනගන්නට තිබෙන පරිදි ලෆාර් විනිසුරුවරයා සම්බන්ධයෙන් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දුගේ නිර්දේශය ද මෙතෙක් ලැබී නැතැයි පැවසෙනවා.
මීට පෙර පසුගිය ජනවාරි මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූර හතරක් සඳහා පුරප්පාඩු ඇතිවූ විට, ඒ සඳහා අගවිනිසුරුවරිය නිර්දේශ කල නම් වලද ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකු වුවත් ලෆාර් මහතාගේ නම නොතිබූ බවද වාර්තා වනවා.