ඊශ්‍රායල ප්‍රහාර සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය කනස්සල්ල පළකර තිබෙනවා.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගෙන් තමාට දුරකථන ඇමතුමක් ලැබුණු බවත්, ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ‘Operation Rising Lion’ දියත් කිරීමත් සමඟ විකාශනය වෙමින් පවතින තත්ත්වය පිළිබඳව ඔහු තමාට විස්තර කළ බවත් මෝදි X හි සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.
‘ඊශ්‍රායලයේ අගමැති @netanyahuගෙන් දුරකථන ඇමතුමක් ලැබුණා. වර්ධනය වෙමින් පවතින තත්ත්වය පිළිබඳව ඔහු විස්තර කළා. එහිදී ඉන්දියාවේ කනස්සල්ල මම බෙදාගත් අතර කලාපයේ සාමය සහ ස්ථාවරත්වය ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළා.’
මෙම සංවාදය සිදුවන්නේ ඉරානයේ හමුදා සහ න්‍යෂ්ටික පහසුකම්වලට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පසුවය.
මෙහෙයුමේදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විද්‍යාඥයින් ද මිය ගිය බවට තහවුරු විය.
ඒ අනුව ඉරානයේ පැරාමිලිටරි විප්ලවවාදී ආරක්ෂක බලකායේ නායක ජෙනරාල් හොසේන් සලාමි ද මියගිය බවට තහවුරු විය.
නිලධාරීන් සහ විද්‍යාඥයින්ට අමතරව ඉරාන සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් මොහොමඩ් බගෙරි ද මිය ගිය බව විදෙස් මාධ්‍ය තහවුරු කරන ලදී.
මීට පෙර, ඉරානය සහ ඊශ්‍රායලය අතර මෑත කාලීන ගැටුම් වර්ධනයන් පිළිබඳව ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශය දැඩි කනස්සල්ල පළ කර තිබුණි. ඒ, “එල්ල වන ප්‍රහාරවලට අදාළ වාර්තා ඇතුළුව විකාශනය වෙමින් පවතින තත්ත්වය අපි සමීපව නිරීක්ෂණය කරමින් සිටිමු.” යන්නෙන් නිවේදනය කරමින්.
“තත්ත්වය උත්සන්න වීම සමනය කිරීමට සහ පවතින ගැටළු විසඳීමට කටයුතු කිරීම සඳහා පවතින සංවාද සහ රාජ්‍ය තාන්ත්‍රික මාර්ග භාවිතා කළ යුතුය. ඉන්දියාව දෙරට සමඟම සමීප සහ මිත්‍රශීලීව කටයුතු කරන අතර හැකි සෑම සහයෝගයක්ම ලබා දීමට සූදානම්ව සිටී” යනුවෙන් එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් විය.
එමෙන්ම ඉන්දීය ජාතිකයින්ට ප්‍රවේශම් වන ලෙසත්, ආරක්ෂිතව සිටින ලෙස සහ දේශීය ආරක්ෂක උපදේශන අනුගමනය කරන ලෙස ද එම ප්‍රකාශයෙන් උපදෙස් ලබාදී තිබේ.