ලෝක ටෙස්ට් ක්‍රිකට් වංශ කතා පොතේ ස්වර්ණමය කඩඉමක් සනිටුහන් කරමින් මෙවර (2023-2025) ටෙස්ට් ලෝක ශූරතාව දිනාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (14) සමත් විය.
ඒ අනුව, දකුණු අප්‍රිකානු කණ්ඩායම ක්‍රිකට් ඉතිහාසයේ හිමි කරගත් ඉහළම ජයග්‍රහණය ලෙස මෙය සටහන් වෙනවා.
ඊයේ (13) සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාවට තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 282 ක ඉලක්කයක් හිමි වී තිබුණු අතර, තෙවන දිනය සඳහා ඊයේ තරගය නතර කරන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 213 ක් ලබා සිටියා.
අද සිව්වන දිනයේදී කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ලකුණු 282 ක ඉලක්කය සපුරාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම 2025 ටෙස්ට් ලෝක ශූරතාවය හිමි කර ගැනීමට සමත් වුණා.
එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ දෙවෙනි ඉනිම වෙනුවෙන් විශිෂ්ට ශතකයක් වාර්තා කළ Aiden Markram ලකුණු 136 ක් ලබා ගත් අතර, නායක Temba Bavuma ලකුණු 66 ක් ලබා ගත්තා.
මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 212 ක් ලබා ගත්තා.
අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 138 ක් ලබා ගැනීමට සමත් වූ අතර, එහිදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ David Bedingham ලකුණු 45 ක් ලබාගත්තා.
යළිත් සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 207 ක් ලබාගත් අතර, පන්දුවට පහරදීමේදී Mitchell Starc ලකුණු 58 ක් හා Alex Carey ලකුණු 43 ක් ලබා ගැනීමට සමත් වුණා.
වසර 136ක (වසර 1889) ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයක් ඇති ලොව තෙවන පැරණිම ක්‍රිකට් කණ්ඩායම ලෙසින් සැලකෙන දකුණු අප්‍රිකාව, සිය ක්‍රිකට් ඉතිහාසයේ කුමන හෝ ආකෘතියකින් ලෝක කුසලානයක් දිනාගත් පළමු හා එකම අවස්ථාව ලෙසින් වාර්තා අතරට එක්විය.
ඔවුන් මීට පෙර ICC තරග මාලාවක ජයග්‍රහණය තිබූ එකම ශූරතාව වූයේ 1998 වසරේ පැවති පළමු ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගැනීම පමණි.
එම තරගාවලි ඉතිහාසයේ ද ඔවුන් අවස්ථා 5කදීම අවසන් පූර්ව වටය දක්වා පැමිණ තිබේ.
ලෝක කුසලානය පෙනෙන මානය දක්වා පැමිණ අවාසනාවන්ත ලෙස ඉවතට විසිවන කණ්ඩායමක් ලෙස ප්‍රකට දකුණු අප්‍රිකාව, අවසන්වරට 2024 වසරේ පැවති විස්සයි20 ලෝක කුසලානයේද අවසන් මහා තරගයේදී විය.
එම තරග ඉතිහාසයේද අවස්ථා 2කදීම ඔවුන් අවසන් පූර්ව වටය දක්වා පැමිණ ඇත.
දකුණු අප්‍රිකාව එක්දින ලෝක කුසලාන 5කදීම අවසන් පූර්ව වටය දක්වා පැමිණ, අවසන් මහා තරගය අහිමි වූ කණ්ඩායමකි.
ඒ අනුව සමස්තයක් ලෙස දකුණු අප්‍රිකාව ක්‍රිකට් ආකෘති ත්‍රිත්වය යටතේම ලෝක කුසලාන අවසන් මහා තරගයක්, අවසන් පූර්ව තරග 12ක් හා අර්ධ අවසන් පූර්ව තරග 2ක් ක්‍රීඩාකර තිබුණි.