කොහුවල කළුබෝවිල පන්සල පාරේ ව්‍යාපාරිකයකුගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී
තිබෙනවා.

අද අලුයම 2.50 ත් 3.00 ත් අතර කාලයේදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන්
දෙදෙනකු විසින් රිවොල්වර වර්ගයේ ගිනි අවියකින් එම වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළා
ගොස් ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත

වෙඩි ප්‍රහාරය එම නිවසේ ගේට්ටුවට එල්ල වී ඇති අතර ඉන් කිසිවකුටත් තුවාල සිදුවී
නොමැති බව පොලිසිය පවසනවා.

මෙහිදී වෙඩි ප්‍රහාර 5 ක් පමණ නිවස ඉදිරිපිට ගේට්ටුවට එල්ල කර එක් වෙඩිල්ලක් උඩට
තබා ඇතැයිද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

වෙඩි ප්‍රහාරය එල්ලවූ නිවස පිටකොටුව ප්‍රදේශයේ පරිගණක උපාංග ව්‍යාපාරික ස්ථානයක්
පවත්වාගෙන ව්‍යාපාරිකයකුට අයත් වන අතර මුදල් ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි ප්‍රහාරය
එල්ල කර ඇතැයිද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ද
එම ස්ථානයට කැඳවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සඳහා ගල්කිස්ස
කොට්ඨාස අපරාධ පරීක්ෂණ අංශයේ නිලධාරීන්ද කැඳවා තිබෙනවා.

මිට අමතරව පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සීසී ටීවී දර්ශන ඔස්සේ විමර්ශන
සිදු කරනු ලබනවා.

ගල්කිස්ස කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණ මහතාගේ උපදෙස් මත
කොහුවල පොලිසිය සහ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන
පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ ඇතුළු කණ්ඩායමක් ඒකාබද්ධව විමර්ශන කටයුතු සිදුකරනු
ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here