වැලිගම මිරිස්ස ප්‍රදේශයේ විහාරස්ථානයක තිබු පෞරාණික සහ මිල කළ නොහැකි වෙස් මූණු සොරකම සම්බන්ධයෙන් හිමිනමක් සහ ගිහියන් දෙදෙනෙකු සමග එම වෙස් මුහුණු සහ පෞරාණික පුස්කොළ පොත් සමඟ (15 ) දින අත්අඩංගුවට ගත් බව වැලිගම මුලස්ථාන පොලිසියිය පවසයි .
වැලිගම මිරිස්ස ප්‍රදේශයේ පිහිටි සුනන්දාරාම විහාරස්ථානයේ සතුව තිබු ඓතිහාසික වටිනාකමක් ඇති සහ මිල කළ නොහැකි වෙස් මුහුණු රැසක් සහ පුස්කොළ පොත් රැසක් එම විහාරස්ථානයේ පුස්තකාල ගොඩනැගිල්ලේ තිබු බව සදහන්.
එම වෙස් මුහුණු අතර රාක්ෂ, මනමේ, නාග ආදී මුහුණු රැසක් තිබූ බව සඳහන්වේ. එය කදුරු සහ විවිධ දැව වර්ග වලින් නිර්මාණය කොට තිබූ බව සඳහන්.
වසරකට වරක් පැවැත්වෙන මිරිස්ස ගම්මඩුව ශාන්ති කර්මය සදහා පමණක් මෙම වෙස් මූණු යොදාගන්නා බවත් තවද දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් මෙම වෙස් මුහුණු නරඹීම සඳහා විහාරස්ථානයට පැමිණෙන බවද ප්‍රදේශවාසීන් පවසති.
මෙම විහාරස්ථානයේ තිබූ වෙස් මුහුණු අස්ථානගත වීම සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන් විසින් වැලිගම පොලිසිය වෙත ඉකුත් 7 දින පැමිණිලි කොට තිබිණි.
එම පැමිණිල්ල අනුව වැලිගම පොලිසියේ ස්ථානාධිපති සනත් කුමාර මහතාගේ උපදෙස් මත විශේෂ කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කරන ලදී.
එ අනුව විහාරස්ථානයේ පිරිවෙනේ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කල වයස (24 ) වන හිමිනමක් ගෙන් කළ ප්‍රශ්න කිරීම මත අදාල වෙස් මුහුණු සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී තිබුණි.
එහිදී මෙම හිමිනම විසින් විහාරස්ථානයේ තිබූ පෞරාණික මෙන්ම මිල කළ නොහැකි වෙස් මුහුණු රැසක් සොරකම් කොට එය පෞරාණික භාණ්ඩ මිලදී ගන්නා අයකු වෙත අලෙවි කොට තිබිණි.
ඔහු මාතර ප්‍රදේශයේ පදිංචි වයස 62 අයෙකු වන අතර මෙම සිදුවීම සඳහා ආධාර අනුබලදීම යටතේ තවත් වයස 42 වන කැකනදුර ප්‍රදේශයේ පුද්ගලයෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම විහාරස්ථානය සතුව තිබූ වෙස් මුහුණුවලටට අමතරව තවත් පෞරාණික මිල කළ නොහැකි පුස්කොළ පොත් විශාල ප්‍රමාණයක්ද සොරකම් කොට තිබියදී පොලිසිය සොයාගෙන තිබේ.
මේ වන විට සැකකාර හිමිනම සහ ගිහියන් දෙදෙනා සමිබන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතුවලින් අනතුරුව මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.