ලොව ජනප්‍රියම TikTok තරුව ලෙස සැලකෙන Khaby Lame හට එක්සත් ජනපදයෙන් පිටව යන ලෙසට පසුගියදා දන්වා තිබෙනවා.
ඒ, ඔහු වීසා කාලය ඉක්මවා රැඳී සිටීමේ චෝදනාව මත ලාස් වේගාස් හි ආගමන නියෝජිතයන් විසින් රඳවා තබා ගැනීමෙන් පසුවයි.
CNN වාර්තාවන්ට අනුව ‘Seringe Khabane Lame’ හෙවත් ‘Khaby Lame’ ලෙස වඩාත් ප්‍රකට සෙනගාලියානු – ඉතාලි TikTok තරුව, හැරී රීඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රඳවාගෙන සිට ඇති අතර ඔහුට පිටුවහල් කිරීමේ නියෝගයක් නොමැතිව රටින් පිටවීමට අවසර ලබාදී ඇති බව සඳහන්.
එම අවසරය පිළිබඳව ආගමන හා රේගු බලාත්මක කිරීමේ ප්‍රකාශකයෙකු විසින් විදෙස් මාධ්‍ය වෙත නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.
ඒ, ‘Khaby අප්‍රේල් 30 වැනිදා එක්සත් ජනපදයට පැමිණ, ඔහුගේ වීසා බලපත්‍රයේ නියමයන් ඉක්මවා රැඳී සිටියේය’ යන්නෙන් සඳහන් කරමින්.
කෙසේ නමුත් Khaby විසින් මෙම රඳවා තබා ගැනීම පිළිබඳව ප්‍රසිද්ධියේ අදහස් දක්වා නොමැත.
මෙම රඳවා තබා ගැනීම සහ එක්සත් ජනපදයෙන් පිටවයාම සිදුවන්නේ, දින ගණනක් විරෝධතා ඇති කළ ලොස් ඇන්ජලීස් හි වැටලීම් ඇතුළු ආගමන විගමන මර්දනය උත්සන්න කිරීම් මධ්‍යයේ ය.
25 හැවිරිදි Khaby, සමාජ මාධ්‍ය තුළ වඩාත් කතාබහට ලක්වූයේ ගෙවුණු කොවිඩ් වසංගත සමයේදීයි.
ඔහු සිය අන්තර්ගතයන් නිර්මාණය කරන ලද්දේ, වචනයක් හෝ කතා නොකර මුහුණේ ඉරියව් තුළින් පමණක් වීම විශේෂයි. එමඟින් ඔහු සංකීර්ණ යම් යම් කාරණාවන්ට දක්වන ලද ප්‍රතිචාර, හාස්‍යජනක මුහුණුවරක් ගත් නමුත්,, එතුළින් ඔහු වටා එකතු වුණු පිරිස අතිවිශාලය.
ඔහුට TikTok හි පමණක් අනුගාමිකයින් මිලියන 162 කට වඩා සිටී.
සෙනගාලයේ උපන් ඔහු කම්කරු පන්තිය නියෝජනය කරන්නෙකි. ළදරු අවදියේ ම දෙමාපියන් සමඟ ඉතාලියට සංක්‍රමණය වී ඇති Khaby, ඉතාලි පුරවැසිභාවය ලබා ඇත.
ඉතාමත් ඉක්මනින් අන්තර්ජාලය තුළ නමක් දිනූ Khaby Lame, 2022 දී Hugo Boss වැනි සන්නාම සමඟ හවුල්කාරීව කටයුතු කිරීමට තරම් සමත්කම් දැක්වීම විශේෂ ය.
එමෙන්ම ජනවාරි මාසයේදී ඔහු UNICEF සුහද තානාපතිවරයෙකු ලෙසත් පත් කරන ලදී.
පසුගිය මාසයේ, ඔහු එක්සත් ජනපදයට පැමිණ දින කිහිපයකට පසු නිව්යෝර්ක් නගරයේ පැවති මෙට් ගාලා සඳහා ද සහභාගී විය.