තායිලන්තය හරහා මෙරටට ගෙන්වූ කන්ටේනර් රථවල එල්.ටී.ටී.ඊ සංවිධානයේ ආයුධ තිබූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රි අර්චුනා රාමනාදන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සොයා බලන ලෙස ජන අරගල පුරවැසියන්ගේ සංවිධානය මෙරට තායිලන්ත තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කරයි.

තායිලන්තය හරහා එම කන්ටේනර් 232 ලංකාවට ගෙන්වූයේ නම් තායිලන්ත රජය ද ඊට අනුග්‍රහය දක්වන බවට සැකයක් මතුවන නිසා මෙම ඉල්ලීම කළ බව එම සංවිධානයේ ලේකම් චානක බණ්ඩාර ගුණතිලක පැවසීය.

මේ නිසා ඒ ගැන සොයා බලන ලෙස අද (17 දා) එම තානාපති කාර්යාලය වෙත ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පයිටුන් මහපන්නපොන් (Paitoon Mahapannaporn) වෙත මෙම ඉල්ලීම කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට තායිලන්තයේ අනුග්‍රහයක් ඇත්ද යන්න සොයා බලන ලෙස යැයි ඔහු පැවසීය.

ඉකුත් දෙසැම්බර් මාසයේදී රේගුවෙන් බහාලුම් 323ක් පරීක්‍ෂාවකින් තොරව මුදාහැරි අතර එහි තිබුණේ එල්.ටී.ටී.ඊ. සංවිධානය සතු ආයුධ තායිලන්තයේ සිට ගෙන ආ බව අර්චුනා රාමනාදන් කළ ප්‍රකාශය නිසා ජාතික ආරක්‍ෂාවට ද තර්ජනයක් බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

මේ නිසා ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිවරයා මැදිහත් වී මේ පිළිබඳ සොයා බැලීම අත්‍යවශය බවයි ඔහු ප්‍රකාශ කළේ.

මේ අතර එම කන්ටේනර් තුළ කිසිදු ආයුධයක් හෝ ත්‍රස්තවාදී සංවිධානයට අඩංගු කිසිවක් නොතිබූ බව රේගුව පසුගියදා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here