මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉන් ඉවත් කිරීමට පියවර ගත් බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

වෙනස් ස්ථානයක සිට අදාළ කටයුතු සිදු කරමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මැදපෙරදිග මතුව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ වන අතර අනෙක් තිදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බවද සඳහන්ය.

කෙසේ වෙතත් තුවාල ලැබූ සියලු දෙනා ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් වන අතර තානාපති කාර්යාලය මැදිහත් වීමෙන් ඔවුන් සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සොයා බලමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මැදපෙරදිග මතුව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

ඊශ්‍රායලය තුළ ශ්‍රී ලාංකිකයින් විසි දහසක් පමණ සේවය කරමින් සිටින අතර ඉරානය තුළ ශ්‍රී ලාංකිකයින් 35 දෙනෙකු රැඳී සිටින බව අමාත්‍යවරයා පැවසීය.

ඉන් 8 දෙනෙකු ඉරාන ජාතිකයින් සමග විවාහ වී සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඊශ්‍රායලය සහ ඉරානය තුළ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය එම රටවල පිහිටි තානාපති කාර්යාල හරහා නිරන්තර සොයා බලමින් සිටින බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here