මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපා වීහේන සහ දියණිය වන චන්දුලා රමලී රඹුක්වැල්ල යන අය ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අද (18) නියෝග කළාය.
ඒ අනුව එක් එක් සැකකරු රුපියල් 50,000/- ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් බැගින් මුදා හරින ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන ලෙසද නියෝග කළාය.
මෙම නඩුකරය මහෙස්ත්‍රාත්වරියගේ නිලමැදිරිය තුළ කැඳවූ අතර එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීනීය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් විසින් අයතා ලෙස රුපියල් මිලියන 97.35 ක් උපයා ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකළ විමර්ශනයකට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව සඳහන් කළාය.
මෙම සැකකරුවන්ගේ සැකකටයුතු ගනුදෙනු පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශය අල්ලස් කොමිසමට වාර්තා කර තිබූ අතර ඒ අනුව මෙම විමර්ශන සිදුකළ බව එම නිලධාරීන් කියා සිටියහ
ඒ අනුව මෙම නඩුකරයේ දෙවන සැකකාරිය වන හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ සහ තුන්වන සැකකාරිය වන දියණියට අයත් රුපියල් ලක්ෂ 300 බැගින් වූ ස්ථාවර තැන්පතු ගිණුම් දෙකක් විමර්ශනවලදී හමුවී ඇති බව සඳහන් කළේය.
එමෙන්ම මෙම සැකකරුවන්ට අයත් ජීවිත රක්ෂණ ඔප්පු සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරන බව කී අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙම සැකකරුවන්ට අයත් රුපියල් ලක්ෂ 150 බැගින් වූ බැංකු ගිණුම් තුනක් වෙනත් පුද්ගලයින්ගේ නම් වලින් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇති බවද පෙන්වා දුන්නේ ය.
මෙම විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍යවරයාගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල නමැත්තියට අයත් සහාධිපත්‍ය දේපළක් තහනමට ගෙන තිබෙන අතර දියණියගේ සැමියා වන පුරස්ථි බණ්ඩාර නමැත්තාට අයත් මෝටර් රථයක් තහනමට ගෙන අල්ලස් කොමිසම භාරයේ රඳවාගෙන තිබෙන බවත් එම නිලධාරින් ප්‍රකශ කළේය.
මෙම විමර්ශනයට අදාළව අනාවරණය කරගත් එක් චෝදනාවක් සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබෙන බවත් ඔවුන් සඳහන් කළේය.
ඊට අමතරව සැකකාර හිටපු අමාත්‍යවරයා විසින් නිල නිවාස හා වාහන පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙන්ම ඔහුගේ සමයේ සිදුවූ ප්‍රමිතියෙන් තොර බෙහෙත් ආනයනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන්ද අල්ලස් කොමිසම විසින් විමර්ශන සිදු කරන බව ඔවුන් කියා සිටියේය.
මෙම සිද්ධියට අදාළව සිදුකරන විමර්ශනවලදී සාක්ෂිකරුවන් සත්‍ය ප්‍රකාශ කිරීමට මැලිකමක් දක්වන බවත් ඔවුන් වෙත එල්ල වී තිබෙන බලපෑම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගත වී ඇති බව සඳහන් කර සිටි අල්ලස් කොමිසමේ නිලධාරීන් ඒ අනුව සැකකරුවන් ඇප මත මුදා හරිනු ලැබුවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියහ.
අල්ලස් කොමිසමේ ප්‍රකාශයට දැඩි විරෝධය පළ කළ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්ත මහතා මෙම විමර්ශනවලට අවශ්‍ය සියලු සහාය සැකකරුවන් විසින් අල්ලස් කොමිසමට ලබා දී තිබෙන බව පැවසීය.
සැකකරුවන් විසින් ඔවුන් ආදායම් උපයාගත් ආකාරය ලේඛන සහිතව අල්ලස් කොමිසම හමුවේ පැහැදිලි කර තිබියදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටීම යුක්ති සහගත නොවන බවස ඔහු පෙන්වා දුන්නේ ය.
තම සේවාදායකයා නීති විරෝධී ලෙස මැණික් පතලක් පවත්වාගෙන ගිය බවට අල්ලස් කොමිසම විසින් චෝදනා එල්ල කළත් එය නිසි පරිදි රජයට බදු ගෙවා පවත්වාගෙන ගිය බවත් එම පතලින් තම සේවාදායකයාට මැණික් හමුවූ බවත් නීතිඥවරයා පැවසීය.
එසේ හමුවූ මැණික් ජාතික ස්වර්ණාභරණ අධිකාරිය විසින් සිදු කළ වෙන්දේසියකදී විකුණා රුපියල් මිලියන 610 ක් සහ මිලියන 125ක් රජයට අය විය යුතු බදු ගෙවීමෙන් පසුව උපයා ගත් බවත් එම සියලු ආදායම් පිළිබඳ තොරතුරු අල්ලස් කොමිසමට පැහැදිලි කර තිබෙන බවත් කියා සිටියේය.
තම සේවාදායකයා මීට සති කීපයකට ඉහතදී මාසයක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරව සිටි අතර ඔහු යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කරනු ලබන ඉල්ලීම පිළිගත නොහැකි බවට නීතිඥවරයා චෝදනා කළේය.
තම සේවාදායකයා සාක්ෂිකරුවන්ට බලපෑම සිදුකර ඇති බවට තහවුරු වන සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවත් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඔවුන්ට එරෙහිව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නොමැති නිසා සැකකරුවන් සියලු දෙනා ඇප මත මුදා හරින ලෙසත් නීතිඥවරයා අදිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය අනතුරුව මෙම සැකකරුවන් ඇප මත මුදාහරීමට නියම කළාය.
ඉන් අනතුරුව පැමිණිල්ල අගෝස්තු මස 24 වැනි දා කැඳවීමටද නියම කළාය. නමුත් ඇපකරුවන් නව දෙනෙකු අදාල පදිංචිය සහ අනෙකුත් තහවුරු කිරිම් සහිත ලිපි ලේඛන සහිතව අධිකරණයට නියමිත වෙලාවට නොපැමිණීම නිසා ඇප කොන්දේසි සපුරා ගැනීමට නොහැකි විය. ඒ අනුව අධිකරණ වෙලාව අවසන් වූ බැවින් කෙහෙලිය රඹුක්වැල්ල , බිරිඳ සහ දියණිය බන්ධනාගාර නිලධාරීන් බසයේ නංවාගෙන වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන ගියහ.
හෙට (19) දිනයේදී මලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රමිතියෙන් තොර ඖෂධ රජයේ රෝහල්වලට බෙදා හැරිම සම්බන්ධයෙන් වන නඩුවේ අවසාන වාර්තාව නීතිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර හෙට එම නඩුවේ අවසන් දිනය ද වේ. මින් ඉදිරියට එම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිමට නියමිතයි.