සැකපිට අත්අඩංගුවට ගත් තරුණයෙකුට කෲර වද හිංසා සිදු කිරීමෙන් ඔහුගේ මූලික
අයිතිවාසිකම් උල්ලංඝනය කළ ඌරගස්මංහන්දිය පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට හා
එම පොලිසියට අනුයුක්තව රාජ්‍කාරි කළ පොලිස් පරීක්ෂකවරයෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය
ඔවුන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ දහය බැගින් තරුණයාට වන්දි ගෙවන ලෙසට
නියෝග කළා.
මාස හයක කාලයක් ඇතුළත එම වන්දිමුදල ගෙවා අවසන් කළ යුතු බවටද එමගින් නියෝග
කළ එස්. තුරෙයිරාජා, දිලිප් නවස් සහ ශිරාන් ගුණරත්න යනු විනිසුරු මඩුල්ල එකී පොලිස්
නිලධාරීන්ට එරෙහිව සුදුසු විනය පියවර ගැනීම සඳහා සිය තීන්දුවේ පිටපත් ජාතික පොලිස්
කොමිෂන් සභාව වෙත යැවීමටද නියෝග කරනු ලැබුවා.
මාතර සඳගිරියාගම ප්‍රදේශයේ පදිංචි පී.ඒ.සී. මදුශාන් නැමත්තා විසින් ගොනු කර තිබූ මූලික
අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය පැමිණිල්ලක් ලද සැණින් ඒ පිළිබඳව
නිසි විමර්ශන සිදු කිරීමකින් තොරව එම නඩුවේ පළමු හා දෙවන විත්තිකරුවන් සිදුකර ඇති
එකේ කෲර වද හිංසා නිසා පෙත්සම්කරුගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝන වී ඇති බවට
නිගමනය කරමින් එකී වන්දිමුදල නියම කරනු ලැබුවා.
පෙත්සමේ තුන්වන වගුත්තරකරු ලෙස නම් කර තිබූ පොලිස් කොස්තාපල්වරයාගේ
වෙළඳසැලක තිබූ රන් ආභරණ කිහිපයක් අතුරුදහන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට
එම පෙත්සම්කරු 2019 වසරේ දිනක අත්අඩංගුවට ගෙන තිබුණා .
පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ දිනේෂ්ද සිල්වා මහතාගේ උපදෙස් මත නීතිඥ හිරන්යා
දමනුපොළ හා විහන්ස තිසේරා යන අය සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශාන්ත ජයවර්ධන පෙනී සිටියා.