මැදපෙරදිග ඇතිවී තිබෙන යුදමය තත්ත්වය හමුවේ ඕනෑම අවස්ථාවක ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට රජය සූදානම් බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

යුදමය තත්ත්වය හමුවේ ඉරානයේ සහ ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර පිළිබඳව අද (19) පාර්ලිමේන්තුවේදී යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මැදපෙරදිග යුදමය තත්ත්වය තවදුරටත් තීව්‍ර වුවහොත් ආසන්න රටවලට ගුවන්යනා යවා ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් වෙනත් රටවල තානාපති කාර්යාල සමග සාකච්ඡා කරමින් සිටින බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියා.

ඊශ්‍රායලයේ සිට නිවාඩු ලබා මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ වීසා කාලය දීර්ඝ කිරීම සඳහා රජය මැදිහත්වන බව ද සඳහන් කළ අමාත්‍යවරයා පැමිණ සිටින ශ්‍රී ලාංකියින්ගෙන් ඉල්ලා සිටියේ යුදමය තත්වය අවසන් වනතෙක් නැවත එරටට යාම අවදානම් වන බැවින් ඒ සඳහා හදිසි නොවන ලෙසයි.

රැකියාවල සුරක්ෂිතභාවය සහ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් රජය කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඉරානයේ ශ්‍රී ලාංකිකයන් 35ක් සහ ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයින් 20,000ක් පමණ සිටින බවත් දැනට ශ්‍රී ලාංකිකයන් 04 දෙනෙකු තුවාල ලබා ඇතැයි ද ඔවුන්ට ප්‍රතිකාර සහ අවශ්‍ය කෑම බිම් ලබා දෙන බවත්, අවශ්‍ය මුදල් සහ අනෙකුත් ප්‍රතිපාදන සපයා දී ඇතැයිද විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම ව්‍යාපාරික කටයුතු සඳහා ද දෙදෙනෙකු එරටට ගොස් ඇති බවත් එම ව්‍යාපාරිකයින් දෙදෙනා ද යළි මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර ඉරානය තුළ වර්තමානයේ පවතින ගැටුම්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වෙනත් ස්ථානයක ස්ථානගත කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව පහත දැක්වෙන ලිපිනයෙහි එය ස්ථානගත කොට ඇති බවයි ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දෙන්නේ.

ලිපිනය : අමිනි විලා, කොහෙස්තාන් උප වීදිය, ඉමාම් කොමේනි වීදිය, ඕව්ලොම්, මසාල්, රාෂ්ට් (Amini Villa, Kohestan Alley, Imam Khomeini Street, Owlom, Masal, Rasht)

දුරකතන අංක : +98 939 205 5161/ +98 991 205 7522/ +98 936 636 0260

විද්‍යුත් තැපැල් ලිපිනය : slembiran@yahoo.com

විදේශ කටයුතු අමාත්‍යාංශය ඉරානයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ, තානාපති කාර්යාලය සමඟ සම්බන්ධතා පවත්වා ගෙන යන ලෙසත් වැඩිදුර උපදෙස් පිළිබඳව අවදානයෙන් පසුවන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here